SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලංකා විදුලිබල මණ්ඩලය බෙදා වෙන් කිරීමේ (Unbundling) ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක් කරමින්,

එහි ප්‍රතිසංස්කරණ මෙහෙයවූ ප්‍රධානියා හදිසියේම ඉල්ලා අස්වී තිබේ. මේ අතරතුර, ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ සැලසුම (VRS) යටතේ ඉවත් වීමට සූදානම් වූ සේවකයින් 2,200කට අධික පිරිසක් මණ්ඩලය තුළ "බලහත්කාරයෙන්" සිරකරගෙන සිටින බවට බරපතල චෝදනාවක් එල්ල වෙයි.

 

 

නෞකාව ගිලෙද්දී කප්පිත්තා පැන යයි?

 

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ (PSRS) අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හේඩිගල්ලගේ මහතා එළඹෙන ජනවාරි 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. මණ්ඩලය කැබලි හතරකට කැඩීමේ තීරණාත්මක මොහොතක, මෙහෙයුම් ප්‍රධානියා ඉවත්වීමත් සමඟ සමස්ත ක්‍රියාවලියම නායකත්වයක් නොමැති "අරාජික" තත්ත්වයකට පත්ව ඇතැයි සේවකයෝ පවසති.

 

"අපිට යන්න දෙන්න" – සේවකයෝ 2200කගේ කඳුළු කතාව

 

මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අකමැති වී, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට (VRS) අයදුම් කළ සේවකයින් 2,200ක් පමණ මේ වන විට දැඩි අසරණභාවයකට පත්ව සිටිති. ඔවුන් පවසන්නේ තමන්ට සේවයෙන් නිදහස් වීමට කළමනාකාරීත්වය ඉඩ නොදෙන බවයි.

 

  • විදේශ රැකියා අහිමි වෙයි: බොහෝ තරුණ වෘත්තිකයින් විදේශ රැකියා සහ වීසා බලපත්‍ර ලබාගෙන ඇත්තේ පෙබරවාරි 1 දින සේවයෙන් නිදහස් වන බවට වූ විශ්වාසය මතයි. දැන් ඔවුන්ට එම අවස්ථා අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

 

  • පෞද්ගලික රැකියා අනතුරේ: ජනවාරි සහ පෙබරවාරි මාසවල නව රැකියාවලට වාර්තා කිරීමට සිටි පිරිසටද කළමනාකාරීත්වයේ මෙම "හිර කිරීම" නිසා සිය වෘත්තීය අනාගතය අහිමි වෙමින් පවතී.

 

  • මානසික පීඩනය: "අපිට වන්දි පස්සේ දුන්නත් කමක් නැහැ, දැනට සේවයෙන් නිදහස් වෙන්න අවසර දෙන්න" යැයි සේවකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

ගැසට් නිවේදනය කොහේද? ඇමති නිහඬයි!

 

විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් හතරකට පැවරීමේ "පත්වීම් දිනය" (Appointed Date) ලෙස පෙබරවාරි 1 වනදා නම් කර තිබුණද, විෂයභාර අමාත්‍යවරයා මෙතෙක් ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර නොමැත. මේ හේතුවෙන් නව සමාගම්වලට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති අතර සේවකයින් අතරමං වී ඇත.

 

 

පලිගැනීම් සහ තර්ජන?

 

සේවකයින් චෝදනා කරන්නේ, VRS ලබාගෙන විදේශගත වූ ඇතැම් සේවකයින්ට "සේවය අත්හැර ගියා සේ සලකා" (Vacation of Post) ලිපි යවා ඔවුන්ගේ විශ්‍රාමික ප්‍රතිලාභ අහිමි කිරීමට මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි. එසේම, තමන්ට අවශ්‍ය පුද්ගලයින්ට පමණක් තෝරාගත් පදනමක් මත VRS අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමට ඉඩ ලබා දෙන බවටද චෝදනා එල්ල වේ.

 

 

රටටම විදුලිය නැති වෙයිද?

 

තමන්ට අකමැති ආයතනයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින සේවකයින් තුළ පවතින දැඩි කලකිරීම නිසා මණ්ඩලයේ දෛනික මෙහෙයුම් කටයුතු අඩාල වීමේ අවදානමක් පවතී. මෙය ජාතික විදුලි පද්ධතියට පවා බලපෑ හැකි "පුපුරා යාමට ආසන්න" තත්ත්වයක් බව වෘත්තීයවේදීන් අනතුරු අඟවයි.

 

විදුලිබල අමාත්‍යවරයා මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතිහාසයේ දැවැන්තම පරිපාලනමය අසාර්ථකත්වය බවට පත්වනු නොඅනුමානය.

 

 

නවතම ලිපි