SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශේෂ විචාර ලිපියකි

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනයේ මුරදේවතාවා ලෙස සැලකෙන්නේ විගණකාධිපතිවරයායි.

නමුත් පසුගිය 2025 අප්‍රේල් මස සිට මාස අටකට අධික කාලයක් මෙරට "විගණකාධිපති" නාමය ඉදිරියට 'වැඩබලන' (Acting) කෑල්ලක් එකතු වී තිබීම හුදු පරිපාලනමය ප්‍රශ්නයක් නොව, බරපතළ දේශපාලන අර්බුදයක සෙවණැල්ලකි.

 

 

මාර්තු 12 ව්‍යාපාරය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය මගින් මතු කර ඇත්තේ මෙම ගැටලුවේ ඇති ව්‍යවස්ථාපිත හා ප්‍රජාතන්ත්‍රවාදී අනතුරයි.

 

විධායකය සහ ව්‍යවස්ථාදායක සභාව: සීතල යුද්ධයක ගොදුරක්?

 

පවතින තොරතුරු අනුව, විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව (Constitutional Council) අතර පවතින්නේ නොවිසඳුණු ගැටුමකි. විධායකය විසින් සිව් වතාවක්ම ස්ථිර පත්වීමක් වෙනුවට වැඩබලන පත්වීම් නිර්දේශ කිරීමත්, එම නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්තෙන් ප්‍රතික්ෂේප වීමත් හරහා පෙනී යන්නේ දෙපාර්ශවය අතර පවතින විශ්වාසයේ බිඳවැටීමයි.

 

 

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ රජය, වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් වන තෙක් කාලය මිඩංගු කරමින් සිටින බවයි. එහි අරමුණ තමන්ට හිතැති නව ව්‍යවස්ථාදායක සභාවක් හරහා තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු එම ධුරයට පත් කර ගැනීමද යන සැකය දැන් ප්‍රජාතන්ත්‍රවාදී සංසද තුළ ප්‍රශ්න කෙරෙමින් පවතී.

 

 

විගණන සේවා කොමිසම අකර්මන්‍ය වීම

 

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් "විගණන සේවා කොමිෂන් සභාවේ" සභාපතිවරයා වන්නේ විගණකාධිපතිවරයායි. ස්ථිර විගණකාධිපතිවරයෙකු නොමැති වීම යනු එම කොමිසමේ පැවැත්ම අස්ථාවර වීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ මූල්‍ය විනය පරීක්ෂා කරන ආයතනයම නායකත්වයක් නොමැතිව පවත්වාගෙන යාම, දූෂණයට එරෙහිව සටන් වදින බව පවසන රජයකට කිසිසේත් ගැලපෙන්නක් නොවේ.

 

ජාත්‍යන්තර බැඳීම් සහ 'ඩිට්වා' සුළි කුණාටු ප්‍රතිසංස්කරණ

 

ශ්‍රී ලංකාව 'ලීමා' සහ 'මෙක්සිකෝ' ප්‍රකාශනවලට අත්සන් තබා ඇති රටක් ලෙස, රාජ්‍ය විගණනයේ ස්වාධීනත්වය සුරැකීමට ජාත්‍යන්තරව බැඳී සිටී. විශේෂයෙන්ම 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් පසු ලැබෙන ආධාර සහ ප්‍රතිසංස්කරණ වියදම් විගණනය කිරීම සඳහා ස්වාධීන සහ බලගතු විගණකාධිපතිවරයෙකුගේ අවශ්‍යතාව අද වෙන කවරදාටත් වඩා වැඩිය.

දේශපාලන බලයද? මහජන පරමාධිපත්‍යයද?

 

"පද්ධතිමය වෙනසක්" (System Change) වෙනුවෙන් ජනවරමක් ලැබූ රජයක්, ස්වාධීන ආයතන සවිබල ගැන්වීමට ප්‍රමුඛතාව දිය යුතුය. විගණකාධිපති ධුරය පුරප්පාඩුව තැබීම හරහා සිදුවන්නේ පද්ධතිය ශක්තිමත් වීම නොව, නැවත වරක් රාජ්‍ය ආයතන දේශපාලනීකරණයට ලක්වීමයි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණයක් පැවැත්වීම පමණක් නොව, එම මැතිවරණයෙන් පසු ස්ථාපිත වන ආයතනවල ස්වාධීනත්වය සුරැකීමයි. විගණකාධිපති පුරප්පාඩුව වහාම පිරවීම රජය හමුවේ ඇති දැවැන්තම පරීක්ෂණයයි.

 

# නයෝමි සුබ්‍රමනියම්

 

imagesimages 1images 2images 3images 4

නවතම ලිපි