SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වෙනිසියුලාවේ මෑතකාලීන දේශපාලන කැළඹීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පාර්ශවය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) නිකුත් කර ඇති නිවේදන ද්විත්වය දෙස බැලීමේදී, වත්මන් පාලනය ජාත්‍යන්තරය හමුවේ අනුගමනය කරන ‘ද්විත්ව පිළිවෙත’ පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු වේ.

 

 

රජයේ නිවේදනය: වචන හරඹයකින් ලිස්සා යාමක්ද?

 

පසුගිය ජනවාරි 5 වැනිදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය මගින් වෙනිසියුලානු තත්ත්වය පිළිබඳව "ගැඹුරු කණස්සල්ල" පළ කර ඇත. එහි ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ස්වෛරීභාවය ගැන දීර්ඝ විස්තර ඇතුළත් වුවද, වෙනිසියුලාවේ සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න හෝ ඊට වගකිව යුතු පාර්ශව කවුද යන්න පිළිබඳව කිසිදු සෘජු සඳහනක් කර නොමැත.

 

 

විචාරකයින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කරන මෙවැනි නිල නිවේදනයක තිබිය යුතු සෘජු බව සහ පැහැදිලි ස්ථාවරය වෙනුවට, කිසිදු රටක් හෝ සිදුවීමක් නම් නොකර "ලිස්සා යාමේ" උපක්‍රමයක් රජය විසින් අනුගමනය කර ඇති බවයි. හමුදාමය මැදිහත්වීම් ගැන වක්‍රව ඉඟි කළද, එය හෙළා දැකීමට තරම් ශක්තිමත් කොන්දක් රජයේ නිල ප්‍රකාශය තුළ දක්නට නොලැබේ.

 

 

ජවිපෙ ස්ථාවරය: ඇමෙරිකාවට සෘජු චෝදනා

 

රජයේ නිල ප්‍රකාශයට දිනකට පෙර, එනම් ජනවාරි 4 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ (JVP) නිකුත් කළ නිවේදනය මීට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනී. එහිදී ඔවුන්:

 

  • ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලදැයි කියන හමුදාමය මැදිහත්වීම දැඩිව හෙළා දැක ඇත.

  • ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමක් ගැන සෘජුව සඳහන් කරයි.

  • මෙය ස්වෛරී රාජ්‍යයකට එල්ල වූ ආක්‍රමණයක් ලෙස නම් කර ඇත.

 

විජිත හේරත් සහෝදරයා සහ විජිත හේරත් ඇමතිතුමා: දෙන්නෙක්ද? එක්කෙනෙක්ද?

 

මෙහි ඇති වඩාත්ම උත්ප්‍රාසාත්මක කරුණ වන්නේ මෙම පරස්පර විරෝධී ස්ථාවරයන් දෙක නියෝජනය කරන පුද්ගල අනන්‍යතාවයයි.

 

 

ප්‍රශ්නය වන්නේ, වෙනිසියුලාවේ සිදුවීම හෙළා දකිමින් සටන්කාමී නිවේදන නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා සහ, වචන හරඹයකින් ලිස්සා යන නිවේදන නිකුත් කරන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය විජිත හේරත්  යනු පුද්ගලයන් දෙදෙනෙකුද යන්නයි.

 

 

න්‍යායාත්මකව මොවුන් දෙදෙනාම එක් අයෙකි. එහෙත් පක්ෂයේ වේදිකාව මතදී අධිරාජ්‍ය විරෝධී පෞරුෂයක් පෙන්වන ඔහු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සකස් කර දෙන "නන්නාඳුනන" නිවේදනවලට අත්සන් තබන ඇමතිවරයෙකු බවට පත්ව ඇත්දැයි ජනතාව ප්‍රශ්න කරති. පක්ෂයක් ලෙස ජවිපෙ දකින "ඇමෙරිකානු ආක්‍රමණය" රජයක් ලෙස විදේශ අමාත්‍යාංශයට නොපෙනීම වත්මන් පාලනයේ විදේශ ප්‍රතිපත්තිය තුළ පවතින අවුල් සහගත බව මැනවින් කියාපාන්නකි.

 

නවතම ලිපි