නිව්යෝර්ක්: වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරේස්
අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන ඒමේ අතිශය රහසිගත හමුදා මෙහෙයුමෙන් පසු, මදුරෝ අද (05) ප්‍රථම වරට නිව්යෝර්ක් නුවර මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලු අධිචෝදනා ප්‍රතික්ෂේප කළ මදුරෝ, "මම තවමත් වෙනිසියුලාවේ නීත්‍යනුකූල ජනාධිපතිවරයා" බව අධිකරණය හමුවේ අවධාරණය කළේය.
හොලිවුඩ් චිත්‍රපටයක් බඳු 'ඔපරේෂන් ඇබ්සලයුට් රිසෝල්ව්'
"පූර්ණ විසඳාගැනීම" (Operation Absolute Resolve) ලෙස නම් කළ මෙම මෙහෙයුම පසුගිය සෙනසුරාදා අලුයම ක්‍රියාත්මක විය. මේ සම්බන්ධයෙන් අනාවරණය වන නවතම තොරතුරු මෙසේය:
- පූර්ව සූදානම: පසුගිය අගෝස්තු මාසයේ සිට CIA සංවිධානය මදුරෝගේ ගමන් බිමන් නිරීක්ෂණය කර ඇති අතර, අමෙරිකානු 'ඩෙල්ටා ෆෝස්' බලකාය මදුරෝගේ නිවහනේ අනුරුවක් මත පෙරහුරු පවත්වා ඇත.
- හමුදා ශක්තිය: F-35, F-22 ප්‍රහාරක ජෙට් යානා සහ B-1 බෝම්බ හෙලන යානා ඇතුළු ගුවන් යානා 150කට අධික සංඛ්‍යාවක් සහ නාවික භටයින් 15,000ක් මෙම මෙහෙයුමට දායක වී තිබේ.
- අත්අඩංගුවට ගැනීම: සෙනසුරාදා අලුයම 10ට පමණ කරාකස් නුවර මදුරෝගේ දැඩි රැකවල් සහිත මාලිගයට කඩාවැදුණු ඩෙල්ටා භටයින්, ඔහු ආරක්ෂිත කාමරයකට (Safe Room) පැන යාමට උත්සාහ කරද්දීම අත්අඩංගුවට ගෙන ඇත.
එල්ල වී ඇති බරපතළ අධිචෝදනා
ජනාධිපති ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කරන ලද අධිචෝදනා පත්‍රයට අනුව මදුරෝට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ඇති ප්‍රධාන චෝදනා මෙසේය:
- මත්ද්‍රව්‍ය ජාවාරම: සිනලෝවා සහ ට්‍රෙන් - ඩි - අරගුවා වැනි මත්ද්‍රව්‍ය කල්ලිවලට සහාය වෙමින් අමෙරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීමට මගපෙන්වීම.
- හමුදාව අයථා ලෙස යෙදවීම: මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වෙනිසියුලානු හමුදාව යොදා ගැනීම.
- මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ: වෙනිසියුලාව තුළ විරුද්ධ මතධාරීන් පැහැරගැනීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් මදුරෝගේ බිරිඳ වන සීලියා ෆ්ලෝරේස්ට චෝදනා එල්ල වී ඇත.
උණුසුම් තත්ත්වයක්
මදුරෝ රඳවා සිටින බෘෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මේ වන විටත් අමෙරිකාවේ මැදිහත්වීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. මදුරෝ පාලනය 2024 වසරේ සිටම නීත්‍යනුකූල රජය ලෙස පිළිගැනීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුගිය සෙනසුරාදා පස්වරු 4.21ට සිය 'ටෘත් සෝෂල්' (Truth Social) ගිණුම හරහා මෙම අත්අඩංගුවට ගැනීම ලෝකයට හෙළි කළ ජනාධිපති ට්‍රම්ප්, මෙහෙයුම සිදුවන අවස්ථාවේදී මා - අ - ලාගෝ සිට එය සජීවීව නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ.

