ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාමේ මුදුන්මල්කඩ බඳු වූ විගණකාධිපති ධූරය
මාස අටකට අධික කාලයක් පුරා පුරප්පාඩු කර තැබීමට වත්මන් රජය කටයුතු කිරීම හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ විනිවිදභාවය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවට වෘත්තිකයන් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (1) වගන්තිය යටතේ අනිවාර්යයෙන්ම පත් කළ යුතු ස්ථීර විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම මගින් රජය දැනුවත්වම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින බවයි.
වෘත්තීයවේදීන් මතුකරන ප්‍රධාන විවේචන:
- මූල්‍ය පාලනය අඩාල කිරීම: 2025 අප්‍රේල් මස සිට විගණකාධිපති ධූරය හිස්ව පැවතීම හේතුවෙන් රජයේ වියදම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්වාධීන අධීක්ෂණයක් නොමැති තත්ත්වයක් උදාවී ඇත. මෙය "වල පල්ලට යන" රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තවදුරටත් අගාධයට ඇද දැමීමකි.
- වගවීමෙන් මිදීමේ උත්සාහය: ව්‍යවස්ථාපිත ආයතනයක් මෙලෙස අකර්මන්‍ය කර තැබීම පිටුපස රජයේ දූෂණ සහ අක්‍රමිකතා වසන් කිරීමේ සූක්ෂම සැලසුමක් පවතීද යන සැකය මහජනයා තුළ මතු වේ.
- ජාත්‍යන්තර විශ්වාසය පළුදු වීම: රට මූල්‍ය අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ කරන මෙවන් මොහොතක, විගණන පද්ධතිය දුර්වල කිරීම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විශ්වාසය බිඳවැටීමට සෘජුවම බලපායි.
ආණ්ඩුවට එල්ල වන දේශපාලන චෝදනාව
පාරදෘශ්‍යභාවය සහ යහපාලනය ගැන වේදිකාවල උදම් අනන වත්මන් පාලනය, ප්‍රායෝගිකව ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හරිමින් සිටී. වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති තිෂාන් සුබසිංහ ඇතුළු නියෝජිත පිරිස මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා හමුවී ලිඛිතව කළ ඉල්ලීම්වලට පවා මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳ කිසිදු උනන්දුවක් නොමැති බවයි.
විගණකාධිපතිවරයෙකු නොමැතිව රජයේ ගිණුම් වාර්තා සකස් කිරීම සහ සහතික කිරීම නීත්‍යානුකූලව අභියෝගයට ලක්විය හැකි කරුණකි. රජය වහාම ක්‍රියාත්මක වී ස්ථීර විගණකාධිපතිවරයෙකු පත් නොකරන්නේ නම්, මෙය රටේ පොදු දේපළ කොල්ලකෑමට මඟ පාදන "නිල අවසර පත්‍රයක්" ලෙස සැලකිය හැකිය.

