ඔන්න වැඩේ පත්තු වුණා. 2026 ජනවාරි 3 කියන්නේ ලෝක ඉතිහාසයේ තවත් එක
කළු දවසක් විදිහට සටහන් වේවි. වෙනිසියුලාවේ නිකොලස් මධුරෝව ඇමෙරිකාවෙන් අල්ලාගෙන ගියා කියන පුවත අද මුළු ලෝකෙම හොල්ලලා තියෙන්නේ. හැබැයි මේක නිකන්ම නිකන් "මත්ද්‍රව්‍ය වැටලීමක්" නෙවෙයි, මේක අමුම අමු "බල දේශපාලනයක්".
මේ බල සෙල්ලම අස්සේ අසරණ වෙච්ච රටවල් සහ ඒ රටවල් වෙනුවෙන් කලින් පෙනී හිටපු අයගේ සැබෑ ස්වරූපය දැන් එළියට එමින් පවතිනවා.

වෙනිසියුලාව: තෙල් නිසා ලැබුණු සාපය
ඇත්තටම වෙනිසියුලාවට වුණේ මොකක්ද?
සරලවම කිව්වොත්, ඒ රටේ තියෙන "කළු රත්තරන්" නැත්නම් තෙල් සම්පත තමයි ඒ රටට සාපයක් වුණේ.
ඇමෙරිකාවට ඕන තමන්ට හිතවත් පාලනයක් එතන තියාගන්න. රුසියාවටයි චීනයටයි ඕන ඇමෙරිකාවට එරෙහිව එතන බලය තහවුරු කරගන්න. මේ ලොකු ලොකු අලි රණ්ඩු වෙනකොට පෑගෙන්නේ වෙනිසියුලාවේ අසරණ ජනතාවයි.

ලංකාවේ "සහෝදරවරුන්ගේ" වෙනස් වුණ රිද්මය
මෙතනදී අපිට ලංකාවේ දේශපාලනය ගැන කතා නොකරම බැහැ. මතකද මීට අවුරුදු කිහිපයකට කලින්, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විපක්ෂයේ ඉන්නකොට වෙනිසියුලාව ගැන කියපු කතා? එතකොට මධුරෝ කියන්නේ ඔවුන්ට "අධිරාජ්‍ය විරෝධී සටනේ සහෝදරයෙක්". "ඇමෙරිකන් අධිරාජ්‍යවාදය පරදවමු", "බොලිවේරියානු විප්ලවය දිනේවා" කියලා පෝස්ටර් ගහපු, වීදි බැස්ස සහෝදරවරු අද කොහේද?

අද ජාතික ජන බලවේගය (NPP) විදිහට ආණ්ඩුව පවත්වාගෙන යන කොට, වෙනිසියුලාවට ඇමෙරිකාව ගහනකොට ඒ ගැන සද්දයක්වත් නැහැ. කලින් "අධිරාජ්‍යවාදියා" වෙච්ච ඇමෙරිකාව අද ඔවුන්ට "සංවර්ධන සහකරු" වෙලා. ඇයි මෙහෙම වුණේ?
-
බලයේ රස: බලයට ආවාම පරණ විප්ලවීය සටන් පාඨ අමතක වෙනවා. ඇමෙරිකාව එක්ක සහ IMF එක එක්ක තියෙන ගනුදෙනු බේරගන්න ඕන නිසා ඔවුන් දැන් ඉන්නේ "නිහඬ" පිළිවෙතක.
- ප්‍රායෝගික දේශපාලනය: කලින් වෙනිසියුලාව වෙනුවෙන් පෙනී සිටීමෙන් ලැබුණු දේශපාලන වාසියට වඩා, දැන් ඇමෙරිකාව අමනාප කර නොගැනීමෙන් ලැබෙන වාසිය ලොකුයි කියලා ඔවුන් හිතනවා ඇති. වාසියටත් වඩා ජාත්‍යන්තර දේශපාලනය ගැන කලින් ආණ්ඩුවලට නගපු චෝදනා කොයිතරම් ප්‍රායෝගික නැති ඒවාද කියල ඔවුන්ම හිතමින් ඇති.
මෙතන තියෙන්නේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. රටක් විදිහට ලංකාව වෙනත් රටක ස්වෛරීභාවයට ගරු කරන්න ඕන. හැබැයි තමන්ගේ දේශපාලන වාසියට එක වෙලාවක "වීරයෙක්" කරපු කෙනෙක්, තමන්ට බලය ලැබුණාම පාවලා දෙන එක දේශපාලන අවස්ථාවාදයක් නෙවෙයිද?
වෙනිසියුලාව මේ වෙලාවේ ලෝක බලවතුන්ගේ සෙල්ලම් පිටියක් වෙලා ඉවරයි. ඒක ඇතුළේ ඇමෙරිකාව තමන්ගේ බලය පාවිච්චි කරලා වෙනත් රටක නායකයෙක්ව පැහැරගෙන යනවා. මේක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා. හැබැයි ලංකාවේ වත්මන් රජය මේ ගැන නිල වශයෙන් හෙළා නොදැකීමෙන් පේන්නේ, ඔවුන් තමන්ගේ පැරණි ප්‍රතිපත්ති කුණු කූඩයට දාලා ඇමෙරිකානු පිලට හේත්තු වෙලා ඉන්න බවයි.
අවසාන වශයෙන්...
වෙනිසියුලාවේ අර්බුදය අපිට දෙන ලොකුම පාඩම තමයි, ලෝක බලවතුන් කවදාවත් පොඩි රටක ජනතාව ගැන හිතන්නේ නැති බව. ඒ වගේම, විප්ලවය ගැන කෑගහන දේශපාලනඥයෝ බලයට ආවාම තමන්ගේ "රතු කමිස" ගලවලා දාලා බලවතුන්ගේ පදයට නටන්න ලෑස්ති බවත් අපිට හොඳටම පැහැදිලි වෙනවා.
#නයෝමි සුබ්‍රමනියම්

