කොළඹ: ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය විනය සුරැකීමේ ප්‍රධානතම නිලධාරියා වන විගණකාධිපතිවරයා
පත් කිරීමේ ක්‍රියාවලිය වත්මන් මාලිමා රජය යටතේ දැඩි අර්බුදයකට ලක්ව ඇත. මාස අටක් තිස්සේ පුරප්පාඩු වී පවතින මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් පස්වන වරටත් යෝජනා කර ඇත්තේ විගණන ක්ෂේත්‍රයෙන් බැහැර පුද්ගලයෙකු බවට පුවත් වාර්තා වේ.
ආරංචිමාර්ගවලට අනුව මෙම පස්වන නාමය විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරන 'වික්‍රමසිංහ' නම් පුද්ගලයෙකි. මීට පෙර අවස්ථා හතරකදීම ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී, යළිත් වරක් ආයතනයෙන් පිටත පුද්ගලයෙකු පත් කිරීමට උත්සාහ කිරීම දැඩි කතාබහට ලක්ව තිබේ.
අභ්‍යන්තරයේ සුදුස්සන් සිටියදී පිටතින් පුස්සන් සොයන්නේ ඇයි?
විගණන දෙපාර්තමේන්තුව තුළම වසර 30කට අධික සේවා පළපුරුද්දක් සහිත, මෑතක් වනතුරුම වැඩබලන විගණකාධිපති ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල වැනි සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් සිටියදී, රජය මෙලෙස පිටතින් පුද්ගලයින් සොයා යෑම සෝචනීය තත්ත්වයකි.
තමාට එරෙහිව කිසියම් චෝදනාවක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලා සිටියද, රජය මෙතෙක් ඒ පිළිබඳව නිහඬතාවක් රැකීම පිටුපස කිසියම් දේශපාලන හෝ පුද්ගලික න්‍යාය පත්‍රයක් ඇති බවට සැක මතු වේ.
එය පුද්ගලික න්‍යාය පත්‍රයක් විය හැකි බවට ඇති ඉඩකඩ වැඩි වී තිබෙන්නේ වැඩ බැලූ විගණකාධිපති ගම්මන්පිල මහතා කිසිදු දේශපාලන නැමියාවකින් කටයුතු නොකලද ඔහුගේ පවුල් සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන සාමාජිකයින් වීමය. එමෙන්ම මැතිවරණයන් සඳහාද ඉදිරිපත් වූ ක්‍රියාකාරිකයන් ය.
පැලවත්ත පක්ෂ කාර්යාලයේ කිසිදු ඉල්ලීමකට සවන් නොදෙන කැළණි සරසවි ගජමිතුරුවාදයක් ක්‍රියාත්මක වන බවට මීට වඩා තව ඉඟි කුමකටදැයි පාක්ෂිකයින්ම දැන් ප්‍රශ්න කරන තත්වයකට මෙම කරුණ නිසා පත්ව ඇති බව වාර්තා වේ.
දෙස් විදෙස් සංවිධාන 20කින් බලපෑම්
විගණකාධිපති ධුරය දීර්ඝ කාලයක් පුරප්පාඩු වී පැවතීම හේතුවෙන් රටේ මූල්‍ය විනය පිරිහී ඇති බව පෙන්වා දෙමින් ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන 20කට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර ඇත. ඒ අතර:
- ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය
- ශ්‍රී ලංකා නීතිඥ සංගමය
- රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව
- විදෙස් තානාපති කාර්යාල කිහිපයක්
මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමට නම් ස්වාධීන විගණකාධිපතිවරයෙකු වහාම පත් කළ යුතු බව මෙම සංවිධාන අවධාරණය කරයි.
කුමන්ත්‍රණ සහ විගණන විමසුම් ඇණ හිටීම
විගණන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ, මෙම තනතුර පිරවීමට එරෙහිව දෙපාර්තමේන්තුව තුළම සිටින, වර්තමානයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන නිලධාරියෙකු කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බවයි. මෙම අර්බුදය හේතුවෙන් මේ වන විට විගණන විමසුම් රැසක් ඇණ හිට ඇති අතර, එය දූෂණ විරෝධී පියවරක් ලෙස බලයට පත් වූ රජයකට කිසිසේත් නොගැලපෙන තත්ත්වයකි.
ගජමිතුරු සංස්කෘතියේ පුනරාගමනයක්ද?
අතීතයේ පැවති රජයන් පවා විගණකාධිපති වැනි ස්වාධීන තනතුරු සඳහා අත ගැසීමට මැලි වූයේ එහි ඇති වගකීම හේතුවෙනි. එහෙත් වත්මන් රජය තම අභිරුචිය පරිදි "ගජමිතුරන්" පත් කිරීමට වෙහෙසීම, ඔවුන්ගේ අවසානයේ ආරම්භය විය හැකි බවට දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති.
රටේ මූල්‍ය ස්වාධීනත්වය උදෙසා ජනාධිපතිවරයා ගනු ලබන මීළඟ පියවර කුමක්දැයි මුළු රටම බලා සිටී.

