අත්‍යවශ්‍ය ඖෂධයක් වන Ondansetron Injection USP 8 mg/4 mL (වෙළඳ නාමය: Ondanman 8) හි නිශ්චිත කාණ්ඩ 4ක්
(Batches) භාවිතය වහාම අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ගෙන ඇති "Very Urgent" තීරණය සම්බන්ධයෙන්, එම ඖෂධය ආනයනය කර බෙදා හරින දේශීය නියෝජිත ආයතනය වන PTC Medical Pvt. Ltd. විසින් පැහැදිලි කිරීමක් ඊයේ(16) ඉදිරිපත් කර තිබිණි.


NMRA තීරණයට හේතුව ලෙස සඳහන් වන්නේ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වාර්තා වූ බව කියන මරණයක් සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥවරයාගේ මූලික විමර්ශන වාර්තාවට අනුව වාර්තා වූ අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා (Adverse Drug Reactions) සහ සැක සහිත තත්ත්ව දෝෂ (suspected quality defects) ය.
NMRA විසින් අත්හිටවූ කාණ්ඩ අංක නම්: OD24021E, OD25009E, OD25024E, සහ OD25023E වේ.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේදී NMRA විසින් යළිත් එම සමාගමට අයත් තවත් ඖෂධ 10ක් තාවකාලිකව තහනමට ලක්කර තිබේ.

මේ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ විසින් තබා ඇති පෝස්ටුවක් පහත වේ.
Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කරලා.
ලංකාවේ රෝගීන්ට ලබාදෙන ඖෂධ වල ගුණාත්මකභාවය සහතික කරන ක්‍රමවේදයක් තිබුණා.
කෙහෙලිය කළේ ඒ ක්‍රමවේදය එලෙසම තිබියදී හදිසි මිලදී ගැනීම් සහ ලියාපදිංචිය අත හැරීමේ ලිපි නිකුත් කිරීම හරහා ප්‍රමිතියෙන් බාල ඖෂධ වලට දොර විවෘත කිරීම.
ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපන බවට අප සැක කළා.
"අනුර - මෝදි හොර ගිවිසුම් ඉරා දමනු" කියා අප හඬ නැගුවේ ඒ නිසා. අදටත් ඒ ගිවිසුම් පවා ජනතාවට රහසක්. රහසිගතව තබන්නේ ඒවා පෙන්වීමට අසීරු තරමේ ප්‍රශ්නයක් ඇති නිසා.
අද ඒ අනතුරු ඇඟවීම් යථාර්ථයක් වෙමින් යනවා. නමුත් එය සිදුවන්නේ ජීවිත බිලිගනිමින්.
මේ විනාශයට ඉඩ නොදෙන ලෙස අප එදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට සහ මාලිමාවේ නියෝජිතයන්ට ආයාචනා කළා. මිනිස් ජීවිත අහිමි වීමෙන් පසුව මේවා කතා කර පලක් නැති බවත් කිව්වා. මේ සබැඳියෙන් මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීම බලන්න. විශේෂයෙන් මෙහි අවසන් කොටසේ අප රෝගී ජීවිත අවදානමේ නොදමන්නැයි ඉල්ලනවා.
හොඳටම ප්‍රමාද වුවත් දැන් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට විවෘත කරන්න. මේවා හානිකර බවට සමාජ මතයක් තිබේනම් එම ගිවිසුම් වලින් ඉවත් වන්න...
[මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ඖෂධ වල ප්‍රමිතියට අදාළ ලංකාවේ නීතිය හා නිර්ණායක ඉන්දියානු ගිවිසුම මගින් වෙනස් කලාද කියන එක. දෙක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ගෙනෙන ඖෂධ ප්‍රමිතිය පරීක්ෂා නොකර ගෙන්වන්න ගිවිසුමෙන් එකඟ වෙලාද කියන එක. මුලින්ම ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ජනතාවට පෙන්වන්න. ඒවා හානිකර බව පෙනී යානම් වහාම ගිවිසුම් ඉරා දමන්න]

