SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පසුගිය දෙසැම්බර් 04 වන දාට යෙදුණු උඳුවප් පොහොය දිනයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඇරඹුණේ

ඊට දින කිහිපයකට පෙර හැටන් ප්‍රවේශ මාර්ගයේ කොටසක පස් කඳු කඩාවැටීමක් සිදුව තිබූ අවස්ථාවක ය.

 

 

ශ්‍රී ලංකාවට බලපෑ දරුණු කාලගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු කඩාවැටීමකින් හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරිදඹ, ඇහැල කණුව ප්‍රදේශයේ මාර්ගය අවහිර වී තිබිණි.

 

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹීමට පෙර එම කොටසේ බාධා ඉවත් කළ අතර, එම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කරන ලදී.

 

එම නිරීක්ෂණයෙන් පසුව ඊට අදාළ නිර්දේශ නිකුත් කරමින් එම ආයතනය වන්දනාකරුවන්ට නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මොනවා ද?

දෙසැම්බර් 02 වන දින විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ විශේෂඥ කණ්ඩායමේ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දෙමින්, වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ගයේ ස්ථායීතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.

 

මෙම ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා පහත සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස එම ආයතනය නිර්දේශ කර තිබේ.

 

  • පඩි පෙළ ප්‍රතිසංස්කරණය: අස්ථාවර වී ඇති කොටසේ හානියට පත් පඩි පෙළ, මව් පාෂාණයට සවි වන සේ සකස් කොට කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් (Random Rubble Masonry) මගින් ශක්තිමත්ව නැවත සකස් කිරීම.
  • ජලය ගලා යාම පාලනය: නායයාම් සිදුවූ කොටසට ජලය ගලා ඒම වැළැක්වීම සඳහා පඩි පෙළේ දෙපසට වන්නට අවම වශයෙන් මිලිමීටර් 300ක් උසැති පැති බැම්මක් ඉදි කිරීම.
  • පාෂාණ කොටස් ස්ථාවර කිරීම: අස්ථාවර තත්ත්වයේ පවතින පාෂාණ කුස්තුර (Rock joints) සඳහා සිමෙන්ති ග්‍රෞට් මිශ්‍රණයක් (Non-shrink cement grout) යොදා සීල් තැබීම.
  • සුන්බුන් පාලනය: ප්‍රවේශ මාර්ගය හරහා සුන්බුන් ගලා ඒම වැළැක්වීම සඳහා, එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි මිලිමීටර් 500ක් පමණ උසැති ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරීම.
  • අවදානම් ශාක ඉවත් කිරීම: පඩි පෙළට ඉහළින් සහ දෙපස වියනක් සේ රැඳී ඇති ශාක කොටස්, අස්ථාවරව පවතින පස් සහ පඳුරු ප්‍රවේශමෙන් ඉවත් කිරීම.

 

 

මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා ගමන් කිරීම සීමා කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අවධාරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.

 

 

මෙම නිර්දේශ අඩංගු ලිපිය ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, යුද්ධ හමුදාපති, පොලිස්පති සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

 

නවතම ලිපි