SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට තුළ උද්ගත වූ දැවැන්ත ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට වත්මන්

රජය අසමත් වූ බවත්, පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් පවසමින් ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළම නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමේ සූදානමක් පවතින බව දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

 

 

රතු නිවේදන නොසලකා හැරීම

පසුගිය නොවැම්බර් 25 වැනිදා වන විටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ‘දිට්වා’ සුළි කුණාටුව සහ ඒ ආශ්‍රිත ගංවතුර තත්ත්වයන් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබුණි. ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරන පරිදි, මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ඊට අනුරූපව ගත යුතුව තිබූ තීරණාත්මක පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට රජය අපොහොසත් වී තිබේ.

 

මෙහි බරපතලම කාරණය වන්නේ, ආපදා පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේත් පැවතීමයි. මෙම ආයතන සෘජුවම විධායකයේ ඉහළම පුටුවලට වගකියන පසුබිමක සිදුවූ මෙම ප්‍රමාදය බරපතල රාජකාරි පැහැර හැරීමක් ලෙස නීති විශාරදයින් පෙන්වා දෙයි.

 

නෛතික රාමුව සහ ‘නිදහස් නීතිඥයෝ’

මෙම සිදුවීම පදනම් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ‘නිදහස් නීතිඥයෝ’ (Free Lawyers) නම් සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි. මෙම නීතිඥ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හිටපු විදේශ අමාත්‍ය සහ නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් විසිනි.

 

පසුගිය දෙසැම්බර් 05 වනදා කොළඹ නිපොන් හෝටලයේදී රැස්වූ ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. මෙම එකමුතුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ මෑතකදී ගල්කිස්ස අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට බාධා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ආන්දෝලනයට ලක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක ය.

 

උල්ලංඝනය වූ බව කියන පනත් සහ සැලසුම්

නීතිඥ කණ්ඩායමේ මූලික තර්කය වී ඇත්තේ 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත සහ 2023 වසරේදී පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද ‘ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම’ (2023-2030) රජය විසින් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවයි.

 

  1. ජාතික ආපදා කළමනාකරණ කමිටුව රැස් නොවීම:

පනතට අනුව ආපදා පූර්ව අනතුරු ඇඟවීමක් ලද වහාම අදාළ කමිටුව රැස්වී ආයතන අතර සම්බන්ධීකරණය සිදු කළ යුතු වුවත්, එය සිදුවී නොමැත.

  1. ජාතික හදිසි ආපදා ක්‍රියාකාරී මෙහෙයුම් සැලැස්ම (NEOP):

කාලගුණ දත්ත ලද සැණින් ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ 2023 දී සකස් කළ මෙම සැලැස්ම ක්‍රියාවට නංවා නොමැත.

  1. ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම:

පනත අනුව රට තුළ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. නිසි වේලාවට එම ප්‍රකාශය සිදු නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක කිරීමට නීතිඥවරු සූදානම් වෙති.

වගකීම කා සතුද?

ආපදා තත්ත්වයකදී රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේ සෘජු නිල බලය පැවරී ඇත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. එබැවින් මෙම නඩු පැවරීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාට අමතරව ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් වගඋත්තරකරුවන් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

ජාතික ව්‍යසනයක් හමුවේ ක්‍රියාත්මක විය යුතු නෛතික ප්‍රතිපාදන, පාර්ලිමේන්තු සම්මත සැලසුම් සහ ජාතික මෙහෙයුම් රාමුව යන ත්‍රිත්වයම නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නෛතික අභියෝගයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 

 

නවතම ලිපි