ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයෙකු,
තමන්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ (Asylum) ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව එරට ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත වාර්තා කරයි. මෙම නම හෙළි නොකළ සැකකරු බ්‍රිතාන්‍ය ආගමන විගමන විනිශ්චය සභාවක් හමුවේ පවසා ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු විශාල අල්ලසක් ලබා දී රටින් පිටවූ බවයි.

අල්ලස් චෝදනාව සහ ආන්දෝලනාත්මක කාලරාමුව
මෙම සිදුවීමේ වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ සැකකරු විසින් බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති කාලරාමුව සහ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔහු කර ඇති ප්‍රකාශයයි. 'ද ටෙලිග්‍රාෆ්' වාර්තාවට අනුව ඔහුගේ ප්‍රකාශයේ සාරාංශය මෙසේය:
"ඔහු පවසන්නේ 'සැලකිය යුතු අල්ලසක් ගෙවීම මත පමණක්' ඔහු නිදහස් කරන ලද බවත් වාර්තා කිරීමේ කොන්දේසි වලට යටත් වූ බවත්ය. ඔහු 2022 සැප්තැම්බර් 2 වන දින ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය අතර ඉන් පසුව 2022 සැප්තැම්බර් 15 වන දින අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලදී."
මෙම ප්‍රකාශය හරහා ගොඩනැගෙන තර්කය නීතිමය වශයෙන් ඉතා සංකීර්ණ එකකි:
අල්ලස් මත නිදහස් වීම:
2022 ජනවාරි 05 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. නමුත් පසුව විශාල අල්ලසක් ලබා දීමෙන් තමාට ඇප මත මුදා හැරීමට හැකි වූ බව ඔහු පවසයි. මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ නීති පද්ධතියේ දුර්වලතාවයක් ලෙස ඔහු බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ හුවා දක්වයි.
වරෙන්තුවට පෙර රටින් පිටවීම:
මොහුගේ රැකවරණ ඉල්ලීම සඳහා යොදාගෙන ඇති ප්‍රධානතම තුරුම්පුව වන්නේ වරෙන්තුව නිකුත් වූ දිනයයි. ඔහු 2022 සැප්තැම්බර් 02 වන දින බ්‍රිතාන්‍යයට පැමිණ ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ශ්‍රී ලංකාව තුළ නිකුත් වී ඇත්තේ ඉන් සති දෙකකට පමණ පසු, එනම් සැප්තැම්බර් 15 වන දිනයි.
බ්‍රිතාන්‍ය අධිකරණයේ තීරණය සහ "තාක්ෂණික දෝෂය"
මොහුගේ සහ ඔහුගේ බිරිඳගේ රැකවරණ ඉල්ලීම මුලින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය (Home Office) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එසේම පළමු මට්ටමේ විනිශ්චය සභාවද (First-tier tribunal) ඔහුගේ ඉල්ලීම ඉවත දැමීය.
කෙසේ වෙතත්, ඉහළ උසාවියකදී (Upper Tribunal) මෙම තීරණය අභියෝගයට ලක් විය. එහිදී නියෝජ්‍ය විනිසුරු ක්ලෙයාර් බර්න්ස් පෙන්වා දුන්නේ පෙර පැවති නඩු විභාගයේදී විනිසුරුවරයා කරුණු වරදවා වටහාගෙන ඇති බවයි. විශේෂයෙන්ම, "සැකකරු රටින් පිටවන විට ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් වී නොතිබූ බවත්, වරෙන්තුව නිකුත් වී ඇත්තේ ඔහු රටින් පිටවූ පසුව බවත්"
පළමු විනිසුරුවරයා අවබෝධ කර නොගැනීම බරපතල දෝෂයක් බව ඇය පෙන්වා දී ඇත.
මෙම තාක්ෂණික කාරණය මත පදනම්ව, ඔහුගේ නඩුව නැවත මුල සිට විභාග කිරීමට නියෝග කර ඇත.
බ්‍රිතාන්‍ය රජයේ දැඩි ස්ථාවරය
මෙම සැකකරු ජාතික තව්හීත් ජමාත් (NTJ) සංවිධානයට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන අතර, පාස්කු ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු ද මිය ගොස් තිබේ. එබැවින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය මොහුට රැකවරණ ලබා දීමට දැඩි ලෙස විරුද්ධ වේ.
ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු 'ද ටෙලිග්‍රාෆ්' වෙත පවසා ඇත්තේ:
"ත්‍රස්තවාදියෙකු යැයි සැක කරන මෙම පුද්ගලයා කිසි දිනෙක බ්‍රිතාන්‍ය භූමියට පය නොතබන බව සහතික කිරීම සඳහා රජය මෙම රැකවරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අපි අධිකරණය හරහා මෙම තීරණය දැඩි ලෙස ආරක්ෂා කරමු." යනුවෙනි.
වත්මන් බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් ෂබානා මහමුද් විසින් හඳුන්වා දීමට නියමිත නව සංක්‍රමණික නීති හරහා, මෙවැනි නීතිමය හිඩැස් භාවිතා කරමින් රැඳී සිටින විදේශීය අපරාධකරුවන් පිටුවහල් කිරීම පහසු කරනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම සිදුවීම කරුණු දෙකක් ඉස්මතු කරයි. පළමුවැන්න නම්, බරපතල ත්‍රස්ත චෝදනා එල්ල වූවන් පවා අල්ලස් මත මුදා හැරේ යැයි ජාත්‍යන්තරය හමුවේ එල්ල වන චෝදනාවයි. දෙවැන්න නම්, යම් පුද්ගලයෙකු තමාට එරෙහිව නිල වරෙන්තුවක් නිකුත් වීමට පෙර රටින් පිටව ගොස්, පසුව එම කාල වකවානු පරතරය (Time gap) භාවිතා කරමින් වෙනත් රටක නීතිමය රැකවරණ ලබා ගැනීමට ගන්නා උත්සාහයයි. බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ මෙම නඩුව නැවත විභාග වීමේදී මෙම කරුණු තීරණාත්මක වනු ඇත.
මූලාශ්‍රය: The Telegraph (UK)

