SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  

නුගේගොඩදී නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රාජ්‍ය විරෝධී රැළිය

සමගි ජන බලවේගය (SJB) විසින් වර්ජනය කිරීමට ගෙන ඇති තීරණය (හෝ අවිනිශ්චිතතාව) මේ දිනවල විපක්ෂයේ දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම්ම ඕපාදූපය බවට පත්ව තිබේ.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට එරෙහිව හඬ නැඟීම වෙනුවට, තම විපක්ෂ නායක පුටුව ආරක්ෂා කරගැනීමට වැඩි අවධානයක් යොමු කරන බවට පක්ෂ අභ්‍යන්තරයේ සිටම රහස් කතා පැතිරෙමින් තිබේ.

 

 

21 රැලියෙන් SJB පිටුපෑම: "අනුරට අවශ්‍ය පරිදි" තීන්දුද?

 

 

SJB පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අවසන් තීරණයක් නොමැති බව පැවසුවද, පක්ෂයේ ක්‍රියාකලාපය නිසා බොහෝ දෙනා අනුමාන කරන්නේ SJB මෙම රැලිය වර්ජනය කිරීමට හෝ නාමික සහභාගීත්වයක් දැක්වීමට ඉඩ ඇති බවයි. SLPP සහ UNP පවා සහභාගී වන අවස්ථාවක, ප්‍රධාන විපක්ෂය වන SJB මෙලෙස පැකිලීම දේශපාලන වශයෙන් විශාල පසුබෑමක් බවටයි මත පළවෙන්නේ. රහස් ආරංචි මාර්ග පවසන්නේ, සජිත් මහතා වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විරෝධයක් දැක්වීමට මැලි වන්නේ, එසේ කිරීම අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමනට අත දීමක් යැයි ඔහු විශ්වාස කරන නිසා බවයි. "ඔහු ආණ්ඩු බලය ගැන නොව, හැමදාම විපක්ෂ නායකකම තියාගන්නට උත්සාහ කරනවා වගේ," යැයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් රහසින් පැවසු බවට ආරංචි! “කාලයක් රනිල් ටත් ඔය ලෙඩේම තිබුණා”, තවත් ජ්‍යෙෂ්ටයෙක් කිව්වාලු.

 

දයාසිරිලා සහ හර්ෂලාගේ කලකිරීම: පක්ෂය දෙකඩ වෙයිද?

 

නුගේගොඩ රැලියට යා යුතු බවට ප්‍රසිද්ධියේම මත පළ කළ දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන්ගෙන් පෙනී යන්නේ, නායකත්වයේ මෙම තීරණයට සියලු දෙනා එකඟ නොවන බවයි. මෙවැනි ප්‍රධාන අවස්ථාවන්හිදී SJB හුදකලා වීම, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තුළ දැඩි කලකිරීමක් ඇති කර තිබේ. මීට ටික කලකට පෙර, සජිත් පෞද්ගලික මිතුරන් පමණක් රැගෙන ගිය ඉන්දීය සංචාරයෙන් ආර්ථික විශේෂඥයකු වන හර්ෂ ද සිල්වා වැනි අය මඟහැරීම, මෙම අසමගිය තවත් තීව්‍ර කර තිබේ. "මේවා නායකත්වයේ තනි තීරණ සහ ජ්‍යෙෂ්ඨයින් කෙරෙහි ඇති අවිශ්වාසය" බවට පක්ෂ අභ්‍යන්තරයේ කසුකුසු පැතිරෙයි. 21 වැනිදා රැළිය වර්ජනය වුවහොත්, මෙම අසතුට විවෘත කැරැල්ලක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බවටයි ඕපාදූප පැතිරෙන්නේ.

 

අවදානම: "දෙකයි පනහේ වැඩ" සහ විපක්ෂ නායකකම අහිමිවීම

 

සජිත් ප්‍රේමදාස ගේ සමීපතම උපදේශක ලකී ෆොන්සේකා හරහා පෞද්ගලික ඉන්දීය සංචාරයක් සූදානම් කරවා ගැනීම හෝ ජ්‍යෙෂ්ඨයින්ගේ උපදෙස් නොතකා ප්‍රධාන විරෝධතාවලින් වැළකී සිටීම වැනි 'දෙකයි පනහේ වැඩ' නිසා, පක්ෂ නායකත්වය කෙරෙහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය පහළ බැස තිබේ.

 

පක්ෂයේ හිතවත්තු රහසින් පවසන්නේ, "සජිත්ගේ පවුලේ නඩු වෙනුවෙන් පවා SJB ජ්‍යෙෂ්ඨයෝ තවදුරටත් ඉවසන්නේ නැතිවෙයි" කියාය. රජය වගකිවයුතු තත්ත්වයට පත් කරනවා වෙනුවට, විපක්ෂ නායකකම ආත්මාර්ථකාමීව ආරක්ෂා කරගැනීමට උත්සාහ කිරීම නිසා, 21 වැනිදා රැළිය වර්ජනය කළහොත් SJB නිල වශයෙන් දෙකඩ වී, සජිත් ප්‍රේමදාස ට විපක්ෂ නායකකම අහිමි වීමේ අවදානමද ඇති බවටයි මේ දිනවල දේශපාලන අභ්‍යන්තරයේ රහස් කතා පැතිරෙන්නේ.

 

නවතම ලිපි