වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින්
වැටුප් හා දීමනා ලබාදීම සඳහා ඉදිරිපත් වී ඇති අයවැය යෝජනාව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය මූල්‍ය හා පරිපාලන ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න විසින් විගණකාධිපති, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබේ.
ඇය ඉල්ලා ඇත්තේ රු. මිලියන 5,000ක මුදලක් ඒකාබද්ධ අරමුදල් මගින් ලබාදීමේ යෝජනාව නිවැරදි කර ගැනීම සඳහා, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ නීතිමය හා පරිපාලනමය සාධාරණත්වය තහවුරු කිරීමට මැදිහත් වන ලෙසයි.
කවිරත්න මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ වතු කම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ලබාදීම ජාතික වගකීමක් බවත්, කම්කරු වැටුප රු. 1,550ක් නොව, රු. 2,000 දක්වා වැඩි විය යුතු බවත්ය.
තවද, මෙම වැඩි කළ වැටුප වතු සමාගම්වල රැකියා අහිමි, පුද්ගලික අංශයේ කුඩා හා මධ්‍යම පරිමාණ වතුවල සේවය කරන 40,000කට ආසන්න වතු කම්කරුවන්ටද සමාන ලෙස ලැබිය යුතු බව ඇය අවධාරණය කරයි.

මන්ත්‍රීවරිය මෙම අයවැය යෝජනාව විවේචනය කරමින් පවසන්නේ, මෙය 'රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ආධුනිකයෙකු වන' වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අතින් සිදු වූ අත්වැරැද්දක් බවයි. භාණ්ඩාගාරයේ පළපුරුදු නිලධාරීන් අතින් මෙවැනි අත්වැරැද්දක් සිදු විය නොහැකි බව ඇයගේ මතයයි.
මීට පෙරද අනීතික යෝජනා ඉදිරිපත් වී ඇතත්, ඒවා ක්‍රියාත්මක වීම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් විසින් වළක්වා ඇති බව ඇය පෙන්වා දෙයි. තවද, මහා පරිමාණ වතු සමාගම් සේවකයින්ට පමණක් රජයෙන් වැටුප්/දීමනා ගෙවීම අනෙකුත් කුඩා හා මධ්‍යම පරිමාණ වතු හිමියන්ටද, සේවකයින්ටද 'වෙනස් ලෙස සැලකීමක්' බව ඇය පෙන්වා දෙයි.
පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ අයවැය ප්‍රකාශනයේ අංක 14 යටතේ “වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම” සඳහා මුදල් අමාත්‍යාංශය සහ අයවැය අධ්‍යක්ෂ ජනරාල් විසින් රු. මිලියන 5,000ක යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ප්‍රධාන වතු සමාගම් හි සේවය කරන කම්කරුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් පමණක් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් යෙදවීමට එමගින් යෝජනා කර ඇත. මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ නම්, අප පාර්ලිමේන්තුව විසින් සම්මත කර දැනට ව්‍යවහාරයේ පවතින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත” මගින් මෙම වගකීම සම්පූර්ණයෙන්ම අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරෙන බව රෝහිණී කවිරත්න පෙන්වා දෙයි. රජයේ තීරණ ක්‍රියාත්මක කිරීම නිසා අතීතයේදී බලවත් රාජ්‍ය සේවකයින් අත්අඩංගුවට පත් වූ ලෙසම, මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් අයවැය අධ්‍යක්ෂවරයාද හිරේ යා හැකි බවට ඇය අනතුරු අඟවයි.
රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් යම් වරදක් සිදු වූ විට රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම අද පවතින ව්‍යවහාරයයි. කවිරත්න මන්ත්‍රීවරිය යොමු කළ ලිපියේ අවධාරණය කරන්නේ, එය වෙනුවට, රාජ්‍ය නිලධාරියෙකු හෝ කැබිනට් මණ්ඩලය අතින් ක්‍රමවේදයේ වරදක් සිදු වන බව නිරීක්ෂණය වන්නේ නම්, එය වළක්වාලීම/නිවැරදි කර ගැනීමට උපකාරවීමේ ආයතනික වගකීමක් ඉහත ආයතන වෙත පැවරෙන බවයි.
වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වුවද, එය රජයේ මූල්‍ය හා පරිපාලන රෙගුලාසි අනුකූලව සිදු කිරීමද අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය, වැවිලි සමාගම්හි සේවකයින්ට පමණක් රජයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා ගෙවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශය සහ එහි නෛතික වගකීම දරණ අයවැය දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස සිය ලිපිය මගින් ඉල්ලා සිටී.

