කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත 'හෝම් ලෑන්ඩ්ස්' සමාගමේ
අධි උස නිවාස ව්‍යාපෘතියට අදාළව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) බලධාරීන් විසින් සිදු කර ඇතැයි කියන නීති විරෝධී අනුමැතිය සම්බන්ධයෙන් ප්‍රබල විරෝධයක් සහ දැඩි සැකයක් මතුව ඇත.
පවතින නාගරික සැලසුම් රෙගුලාසි පැහැදිලිව උල්ලංඝනය කරමින් ලබා දී ඇති මෙම අනුමැතිය වහාම අවලංගු කර, එයට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු නව නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ගෙන් ඉල්ලා සිටිති.
රෙගුලාසි උල්ලංඝනය කිරීම්:
ප්‍රදේශවාසීන් විසින් අභියාචනාධිකරණයට පවා කරුණු ඉදිරිපත් කර ඇති මෙම ගැටලුවේදී, UDA හි සැලසුම් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය වී ඇති බවට චෝදනා එල්ල වේ.
අනාවරණය වී ඇති ප්‍රධාන කරුණු නම්:
- කලාපකරණය වෙනස් කිරීම: අනුමැතිය ලබා දී ඇති ඉඩමේ වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ හරිත පරිසරය සහ අඩු ඝනත්ව නිවාස අපේක්ෂා කරන විශේෂ ප්‍රාථමික නේවාසික සංවර්ධන කලාපයට (SPRDZ) වන නමුත්, UDA විසින් එය මධ්‍ය ඝනත්ව මිශ්‍ර සංවර්ධන කලාපයකට අයත් ලෙස සලකා අනුමැතිය ලබා දී තිබීම.
- උස සීමාව ඉක්මවීම: පවතින නීති රෙගුලාසිවලට අනුව උපරිම වශයෙන් මීටර් 50ක පමණ උසක් ලබා දිය හැකි අවස්ථාවක, කිසිදු පදනමකින් තොරව මීටර් 120-130 ක පමණ අතිශය අධි උසකට අනුමැතිය ලබා දී තිබීම.
- මුහුණත පළල වංචාව: රෙගුලාසි අනුව මීටර් 30 වඩා වැඩි විය යුතු මුහුණත පළල, අදාළ ඉඩමේ ඇත්ත වශයෙන්ම මීටර් 30 අඩුව තිබියදී, ඉඩමට සම්බන්ධයක් නැති පසුපස මාර්ගයක පළල පවා සැලකිල්ලට ගෙන එය මීටර් 40 ලෙස සලකා අනුමැතිය ලබා දීම.
දූෂණයේ සුවඳ මාලිමාණ්ඩුව පැත්තෙනුත්..
වඩාත් කනගාටුදායක කරුණ වන්නේ, සැලසුම් අනුමැතිය ලබා දී දිනක් ගත වීමටත් පෙර ව්‍යාපෘතියේ මුල්ගල තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් සහ එවකට විෂය භාර අමාත්‍යවරයා පවා සහභාගී වීමයි. මෙම ඉක්මන් ක්‍රියාවලිය සහ නීති රීතිවලට පටහැනි අනුමැතිය පිටුපස, UDA හි සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ වංචනික සහ දූෂිත ගනුදෙනු සිදුවී ඇති බවට ප්‍රදේශවාසීන් සහ මහජනතාව චෝදනා කරති.
බිමල් අමාත්‍යවරයාට විශේෂ ඉල්ලීමක්
මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම, වත්මන් ආණ්ඩුවේ මෙන්ම ජනාධිපතිවරයාගේ යහපාලන ප්‍රතිරූපය වෙනුවෙන් අතිශයින් වැදගත් කාර්යභාරයක් වේ.
බිමල් රත්නායක අමාත්‍යවරයා කුණු ගාගන්නේ ඇයි?
"වර්තමාන රජයේ අකටයුතුකම් හා දූෂණවලට පැල්ලම් තවරා නොගත් ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරයෙක් ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සලකනු ලබයි.
එසේ තිබියදී රටේ පොදු නීතිය සහ UDA රෙගුලාසි මෙලෙස උල්ලංඝනය කිරීම, රටේ නීතියේ ආධිපත්‍යයට කරන බරපතල හානියකි. ඔබගේ විෂය පථය යටතේ සිදුවී ඇති මෙම දූෂිත, නීති විරෝධී ඉදිකිරීමේ අනුමැතිය වහාම අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට කටයුතු කළ යුතුයි.
එසේම, මෙම නීති විරෝධී අනුමැතිය ලබා දීම සඳහා කූට ලෙස ලේඛන සහ රෙගුලාසි වෙනස් කිරීමට මැදිහත් වූ UDA හි සභාපතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර, නීතිය හමුවට පැමිණවිය යුතුයි.
මහජනතාවගේ විශ්වාසය රැකගැනීමටත්, නීතියේ පාලනය තහවුරු කිරීමටත් මෙම පියවර අතිශයින් වැදගත් බව අවධාරණය කරමු."
දැනටමත් ජනාධිපති කාර්යාලය ද මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පළවන අතර, මෙම ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉඩ නොදී වහාම නතර කර ගැනීම රටේ නාගරික සැලසුම්කරණයේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය කාරණාවකි.
#සමාරා පරණවිතාන