SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) විසින්, 2025 ඔක්තෝබර් සිට

2027 සැප්තැම්බර් දක්වා කාලය සඳහා ශ්‍රී ලංකා වගවීම් ව්‍යාපෘතිය (OSLap) සඳහා අරමුදල් සැපයීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන 3.8ක මුදලක් (දළ වශයෙන් රුපියල් බිලියන 1.1ක්) ඉල්ලා තිබේ.

 

 

මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල උල්ලංඝනයන් සම්බන්ධයෙන් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා විය හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමට සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයකි. ජිනීවා නුවර පදනම් වූ මෙම වගවීම් ව්‍යාපෘතිය 2021 වසරේදී UNHRC යෝජනාවක් යටතේ පිහිටුවන ලද අතර, ඔක්තෝබර් 6 වනදා ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාව සම්මත කිරීමෙන් පසු එහි වරම තවත් වසර දෙකකින් දීර්ඝ කරන ලදී.

 

කෙසේ වෙතත්, මෙම යාන්ත්‍රණය එහි ආරම්භයේ සිටම අඛණ්ඩව බලයට පත් වූ ශ්‍රී ලංකා රජයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

 

 

එක්සත් ජාතීන්ගේ අයවැය කාර්යාලය විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද ලේඛනයක සඳහන් වන පරිදි, මෙම ව්‍යාපෘතියේ වියදම් සඳහා සංචාරක වියදම්, නව බඳවා ගැනීම්, දූත මෙහෙවර අතරතුර දේශීය පරිවර්තනයන් සඳහා වන කොන්ත්‍රාත් සේවා, චන්ද්‍රිකා රූප/විශ්ලේෂණ යනාදිය ඇතුළත් වේ.

 

 

පසුගිය දා කෙටුම්පත් යෝජනාව සලකා බලන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තානාපතිනි හිමාලී අරුණතිලක, OHCHR තුළ මෙම ව්‍යාපෘතිය පිහිටුවූ ආකාරය, එහි වැඩකටයුතු සහ ඒ සඳහා වෙන් කර ඇති අයවැයේ විශ්වසනීයත්වය හා විනිවිදභාවය ප්‍රශ්න කර තිබේ.

 

 

"වසර හතරක් තිස්සේ පැවතුනද, ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී ඇති බවට මෙම කවුන්සිලයට තවමත් දැකගත නොහැක," ඇය පැවසුවාය.

 

 

ශ්‍රී ලංකාවට සහයෝගය දක්වමින් අදහස් දැක්වූ කියුබාවේ UNHRC නියෝජිතයා ද ව්‍යාපෘතියේ නීත්‍යානුකූල භාවය ප්‍රශ්න කළ අතර, 2021 සිට මේ දක්වා එහි වැඩකටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වෙන් කර තිබුණත් මෙතෙක් කිසිදු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵලයක් දැකගත නොහැකි වූ බව පැවසීය.

 

 

මෙහිදී ශ්‍රී ලංකා වගවීම් ව්‍යාපෘතිය (OSLap) පවසන්නේ, ශ්‍රී ලංකාවේ වගවීම් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 300කට අධික සංඛ්‍යාවකගේ සහ සංවිධාන 230කගේ දායකත්වයන් ඇතුළුව ආයතන 530කට වැඩි ප්‍රමාණයකින් ලබාගත් ද්‍රව්‍ය 101,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට එහි ගබඩාවේ අඩංගු බවයි.

 

 

 

(**ගබඩාව - ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් එක්රැස් කරන ලද සාක්ෂි සහ තොරතුරු සුරක්ෂිතව තබාගන්නා ඩිජිටල් දත්ත පද්ධතිය)

 

 

"ගබඩාවේ අඩංගු තොරතුරු මත පදනම්ව, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සහ ජාත්‍යන්තර අපරාධ සඳහා වගකිව යුතු බවට චෝදනා ලබන පුද්ගලයන්ගේ තොරතුරු වාර්තා (profiles) සහ ගැටුමට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පිළිබඳ ව්‍යුහාත්මක දළ විශ්ලේෂණයන් OSLap (ශ්‍රී ලංකා වගවීම් ව්‍යාපෘතිය) විසින් සකස් කර ඇත,"  යනුවෙන් එම ව්‍යාපෘතිය පවසා තිබේ.

 

නවතම ලිපි