ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ පිහිටි ඉස්ලාමීය නේවාසික පාසලක
ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් සිසුන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් දුසිම් ගණනක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියට (National Agency for Disaster Management) අනුව, ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුළත් කර ඇති ආපදාවට ලක්වූවන් සංඛ්‍යාව 77කි.
ජාතික සෙවීම් හා මුදාගැනීමේ ඒජන්සියේ ප්‍රධානී මොහොමඩ් ස්යාෆී (Mohammad Syafii) අඟහරුවාදා (2025 සැප්තැම්බර් 30) දහවල් 12.30 වන විට ප්‍රකාශ කළේ, "වින්දිතයන් සංඛ්‍යාව 102ක් වන අතර, එයට දිවි ගලවා ගත් 99 දෙනෙකු සහ මියගිය 3 දෙනෙකු ඇතුළත්" බවයි.
කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් යට 38 දෙනෙකු සිරවී ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඔවුන් සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇත. ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ 11 දෙනෙකු සුන්බුන් අතරින් මුදාගෙන ඇති අතර, 91 දෙනෙකුට ඉන් ගැලවීමට හැකි වූ බවයි.
නැගෙනහිර ජාවා හි සිඩෝආර්ජෝ (Sidoarjo) හි පිහිටි අල්-ඛොසිනී ඉස්ලාමීය නේවාසික පාසලේ (Al-Khoziny Islamic Boarding School) මෙම සිදුවීම සඳුදා (සැප්තැම්බර් 29) පස්වරු 3:00 ට පමණ සිදුව ඇත්තේ සිසුන් දහවල් යාඥාවන් සඳහා රැස්වෙමින් සිටියදීය.
බලධාරීන් පවසන්නේ, ගොඩනැගිල්ලේ සිව්වන මහල කොන්ක්‍රීට් කරමින් සිටියදී එහි මුල් අත්තිවාරම් කුළුණු දුර්වල වී කඩා වැටී ඇති බවයි. මෙය "අනවසර ව්‍යාප්තියක්" (unauthorised expansion) සහිත ගොඩනැගිල්ලක් බවත්, පැරණි යාඥා ශාලාවේ අත්තිවාරමට තවත් මහල් දෙකක බර දරා ගැනීමට නොහැකි වී කඩා වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි. වින්දිතයන්ගෙන් වැඩි දෙනෙක් පිරිමි සිසුන් වන අතර, ගැහැණු සිසුන් වෙනත් කොටසක යාඥා කළ බැවින් ඔවුන්ට ගැලවීමට හැකි වී තිබේ.
ආපදා කළමනාකරණ ඒජන්සිය මෙම සිදුවීම සම්බන්ධයෙන් කියා සිටියේ "ඉදිකිරීම් ආරක්ෂිත ප්රමිතීන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ" අවශ්‍යතාවය මෙයින් අවධාරණය වන බවයි.
මෙය මාසයකට අඩු කාලයකදී ඉන්දුනීසියාවේ සිදු වූ දෙවන ගොඩනැගිලි කඩාවැටීමයි. මීට පෙර, සැප්තැම්බර් 3 වන දින බටහිර ජාවා හි බොගෝර් (Bogor) දිස්ත්‍රික්කයේ කුරාන පාරායනයක් පැවැත්වූ ප්‍රජා ශාලාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් තිදෙනෙකු මියගොස් දුසිම් ගණනක් තුවාල ලබා තිබිණි.