SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු 6.8% කින්

ඉහළ නැංවීමට යෝජනා කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් (PUCSL) අවසර ඉල්ලා තිබේ.

 

 

මෙම ගාස්තු වැඩි කිරීම සඳහා ප්‍රධාන හේතුව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මූල්‍ය හා මෙහෙයුම් ස්ථාවරත්වය සහතික කිරීම සහ අනාගතයේ විදුලි සැපයුමට ඇතිවිය හැකි අවදානම් අවම කිරීමයි.

විශේෂයෙන්, 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා රුපියල් මිලියන 17,694 ක හිඟයක් පවතින බව ඔවුන් පවසනවා.

 

 

ගාස්තු ඉහළ දැමීමට හේතු සහ යෝජනාව පිළිබඳ විස්තර

 

2025 වසරේ ආරම්භයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් විදුලි ගාස්තු 20% කින් අඩු කිරීමට තීරණය කළා. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් 2025 වසරේ මුල් කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් සිදු වූ බවයි. මේ පාඩුව පියවීමට ඔවුන් ජූනි මාසයේදී 18.3% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි අතර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව එය 15% කට සීමා කළා.

 

දැන්, 2025 වසරේ අවසන් කාර්තුව සඳහා තවත් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල, ජල විදුලිය ලැබෙන ප්‍රමාණය, බලාගාර නඩත්තු වියදම් සහ ආර්ථිකමය සාධක ඇතුළු විවිධ කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසුව බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. ඔවුන් සිය යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අතර, එය සලකා බැලීමෙන් පසුව අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

 

මහජන අදහස් සහ තීරණය

 

 

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පිළිබඳව ජනතාව විවිධ අදහස් දක්වනවා. ජංගම දුරකථන අලුත්වැඩියා කරන ව්‍යාපාරිකයෙක් වන ක්‍රිෂාන් අංජන පවසන්නේ, ගාස්තු වැඩිවීම නිසා ඔවුන්ගේ මෙහෙයුම් වියදම් ඉහළ ගොස් ලාභය අඩු වන බවයි. ඔහු අවධාරණය කරන්නේ, වසර හතරකට පෙර රුපියල් 8,000 ක් පමණ වූ විදුලි බිල දැනටමත් රුපියල් 32,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

 

 

ගෘහණියක් සහ බතික් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වන දේශානි බොතේජු ද පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩිවීම තම ව්‍යාපාරයට මෙන්ම දෛනික ජීවිතයට ද බලපාන බවයි. ජල මෝටරය වැනි උපකරණ නිතර භාවිතා වන බැවින්, විදුලි බිල ඉහළ යාම ආදායමෙන් විශාල කොටසක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව ඇය පවසනවා. තවද, මෙය අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට ද හේතු විය හැකි බව ඇය පෙන්වා දෙනවා.

 

 

මෙම යෝජනාව පිළිබඳව මහජන අදහස් සහ යෝජනා විමසීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ වන විට ආරම්භ කර තිබෙනවා. ලිඛිත අදහස් 2025 ඔක්තෝබර් 07 වනදාට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලට හෝ 076 427 1030 වට්ස්ඇප් අංකයට යොමු කළ හැකියි. එසේම, මහජන උපදේශන සැසි නවයක් රට පුරා පැවැත්වෙන අතර, පළමු සැසිය සැප්තැම්බර් 18 වනදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

අවසන් තීරණය 2025 ඔක්තෝබර් මැද භාගයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.

 

 

# BBC තොරතුරු ඇසුරිනි.

නවතම ලිපි