හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වූ තත්ත්වය පිළිබඳව
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය දැඩි කනගාටුව සහ අවවාදය පළ කර තිබේ. බුදුන් වහන්සේ උපන් පින්බිමක මෙවැනි මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව හෙතෙම එහිදී අවධාරණය කරයි.
ඝාතන සහ අමානුෂික ක්‍රියා හෙළා දැකීම
වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය ප්‍රකාශය ආරම්භ කරන්නේ, නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ මිනිස් ඝාතන, විශේෂයෙන් තරුණයින් සහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකිමිනි. විදේශ ඇමතිනිය ඇතුළු ඇමතිවරුන්ට පහර දීම කාන්තා අයිතිවාසිකම්වලට සිදු වූ බරපතල උල්ලංඝනයක් ලෙස ඔහු හඳුන්වයි. මෙම ක්‍රියා නේපාලයේ කීර්ති නාමයට විශාල හානියක් සිදු කරන බව ද ඔහු පෙන්වා දෙයි.
පොලීසිය සහ රාජ්‍ය පාලනය
කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යාමට ඉඩ නොතැබිය යුතුව තිබුණ බවත්, පොලීසිය විසින් කරන ලද වෙඩි තැබීම් කිසිසේත් අනුමත කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ පවසයි. තත්ත්වය ආරම්භයේදීම එය සාමකාමීව පාලනය කිරීමට හැකියාව තිබූ බවට තොරතුරු ලැබුණු බව ද ඔහු සඳහන් කරයි. රාජ්‍ය පාලනයට තිබූ අදක්ෂතාවය ද මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වූ බව ඔහුගේ අදහසයි.
සමාජ මාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය
ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබීම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි. නේපාලයේ අර්බුදය තව දුරටත් උත්සන්න වීමට හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ, තරුණ පරපුර අතර පැවති දැඩි කලකිරීමත් සමඟම සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනි තැබීම නේපාල ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් ලෙස ඔහු හඳුන්වයි.
ඉදිරි පියවර සහ උපදෙස්
අර්බුදයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති තත්ත්වයකට පත් වූ නේපාලයේ සාමය ඇති කිරීම සහ ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය භාර ගත් හමුදාවේ ප්‍රධාන වගකීම බව මෙහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
බුදුන් වහන්සේ දේශනා කළ සප්ත අපරිහානී ධර්මය (සමඟිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යාම) නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.