SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අනුර කුමාර කච්චතිව් ගිය හැටි

 

මේ දිනවල දකුණු ඉන්දියාවේ මැතිවරණ වේදිකා රත් කරවන කච්චතිව් කතාවට, අපේ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායකත් එකතු වුණා. ගොඩනැඟිලි, පාලම් විවෘත කරමින් උතුරේ වැඩසටහන් කිහිපයකට ගිය අනුර, සගයන් දෙදෙනෙක් එක්ක නාවික හමුදාවේ බෝට්ටුවකින් කච්චතිව් දූපතට ගොඩ බැස්සා. මෙච්චර කාලෙකට කිසිම ජනාධිපති කෙනෙක් නොගිය මේ දූපතට ගිය අනුර, ආරක්ෂිත කබා නොඇඳ හිටපු නිසා බොහෝ දෙනෙක් කතා වුණේ ඒක වීරකමක්ද, නැත්නම් ආරක්ෂාව ගැන තැකීමක් නොකිරීමක්ද කියලා. කොහොම වුණත්, නාවික හමුදා නිලධාරීන්ගෙන් සිතියම් ගැන අහලා, මුහුදු සුළඟ විඳිමින් එතැන ගොඩක් වෙලා හිටියලු.

 

 

ශ්‍රීලනිප සංවත්සරයේ මගහැරුණු සිනහව

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය ඩාලි පාරේ කාර්යාලයේ පැවැත්වුණත්, එහි සැබෑ තේජස නැතිවූවා සේ පෙනුණා. ඒ, හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ලේකම් දයාසිරි ජයසේකර නොපැමිණීම නිසා. උත්සවයේදී බොහෝදෙනෙක් මේ ගැන කතාබහ කළා. පක්ෂයට තිබූ නඩුහබ තවමත් අවසන් නැති බව නිමල් සිරිපාල ඇමතිතුමාගේ කතාවෙන් ඉඟි කළා. “මල් කුමාරයා” ලෙස හැඳින්වුණු උදිත් ලොකුබණ්ඩාර මල් කලඹක් ගෙන එද්දී, එජාපයේ හිටපු නගරාධිපතිවරයෙකු “මේක මැයි දිනයක්වත් සංවිධානය කරගන්න බැරි ශ්‍රීලනිපය” කියාගෙන ගියා. දයාසිරි මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වේ තමාට සංවත්සරයට ආරාධනාවක් ලැබුණේ නැති බවත්, නිමල් සිරිපාලට සංවත්සරය පැවැත්වීමට නීත්‍යානුකූල අයිතියක් නැති බවත්. මේ සියල්ලෙන් පෙනුණේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තවමත් එලෙසම පවතින බවයි.

 

 

තල්දූවගේ මංගල්‍යයේ දේශපාලන සාදය

 

ශ්‍රීලනිපයේ මේ උණුසුම අස්සේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සහ ඔහුගේ නීතිඥ බිරිඳ සන්ධ්‍යා තල්දූව, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් එක මේසයකට ගෙනාවා. ඒ ඔවුන්ගේ දියණියගේ විවාහ මංගල්‍යයේදී. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනත්, ජනාධිපති අපේක්ෂකයන් වූ ඩලස් අලහප්පෙරුම සහ දිලිත් ජයවීරත් එහිදී එකට සාමීචියේ යෙදුණා. ශ්‍රීලනිපයේ එකල සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඔවුන් තිදෙනා, කාලයකට පසු එකට සිටීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වුණා. මෙම අවස්ථාවට අලි සබ්රි, විජයදාස රාජපක්ෂ වැනි දේශපාලනඥයන් රැසක්ම සහභාගී වූ අතර, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ද ඔවුන් අතර කතාබහක් සිදුව තිබෙනවා.

 

 

රනිල්ට කිරි ඉතිර වූ වජිර

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අසනීප තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය කල් දැමීමට තීරණය කළා. ඒ අතරතුර රනිල්ගේ ප්‍රධාන විශ්වාසවන්තයා වූ වජිර අබේවර්ධන, රනිල් වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල කිරි ඉතිරවීමේ පූජාවක් පැවැත්වූවා. මේක විශේෂ අවස්ථාවක් වුණේ ඒ දිනටම වජිරගේ උපන්දිනය යෙදී තිබීම නිසයි. රනිල් විසින්ම වජිරට සුබ පැතීමත් විශේෂත්වයක් වුණා.

 

 

ගොවි ගැටලු පිටුපස දේශපාලනය

 

මේ දිනවල ඌව පළාත ගිනි ගෙන ඇත්තේ උක් වගාවට තැබූ ගිනි නිසා. සර්වජන බලයේ දිලිත් ජයවීර උක් ගොවීන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්නවලට සවන් දුන්නා. ගොවීන් කිව්වේ මේ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවයි. අක්කර සිය ගණනක් විනාශ වී තිබෙන උක් වගාව ඔහු නිරීක්ෂණය කළා. ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙහිඅත්තකණ්ඩියේ වී ගොවීන් හමුවුණා. ඔවුන්ගේ උද්ඝෝෂණය මැදින් ගොස් ප්‍රශ්න ඇසූ සජිත්ට, ගොවීන් කීවේ රජය සහතික මිලට වී මිලදී ගන්නවා යැයි පාර්ලිමේන්තුවේ පමණක් කියන බවයි. ගොවීන්ගේ ප්‍රශ්න ඉදිරියේදී රජයට ඉදිරිපත් කරන බව සජිත් පොරොන්දු වුණා.

 

#HUTASPARAYA

නවතම ලිපි