හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී නොවන බවට එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
තමාට වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට උසාවි යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත්, වෙනත් හිටපු ජනාධිපතිවරුන් අධිකරණයේ පිහිට පැතුවොත් තමා ඊට සහය නොදක්වන බවත් ඔහු පවසා තිබේ.
යම් හෙයකින් මෙම වරප්‍රසාද සම්බන්ධයෙන් නඩු පැවරුවහොත් පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් නොකරන ලෙසට හිටපු ජනපතිවරුන්ට නීති උපදෙස් ලැබී ඇති බවද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
හිටපු ජනාධිපතිවරුන් වරප්‍රසාද සම්බන්ධයෙන් සාමූහිකව සාකච්ඡා කර නොමැති බවත්, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු සමඟ පමණක් තමා ඒ පිළිබඳ කතාබස් කළ බවත් ඔහු සඳහන් කර තිබේ.
එක් අවස්ථාවකදී මෛත්‍රීපාල සිරිසේන ද තවත් අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ද විවාහ මංගල උත්සවයකදී ඒ පිළිබඳ අදහස් පළ කළ බව ඔහු පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂය නව ප්‍රතිසංවිධානයකට
මේ අතර, රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇත.
මෙම රැස්වීමේදී පක්ෂයේ ශාඛා සමිති, බල මණ්ඩල සහ දිස්ත්‍රික් සංවිධාන ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කිරීමට තීරණය කර තිබේ. දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය සහ මානව සම්පත් සංවර්ධනය කිරීමට, පක්ෂයට නවීන දේශපාලන අධ්‍යාපනයක් ලබාදීමට, මෙන්ම පක්ෂයේ ප්‍රමුඛ නායකයන්ට දිස්ත්‍රික් දෙක තුනක් භාරදී ප්‍රතිසංවිධාන කටයුතු පැවරීමට ද මෙහිදී අවධානය යොමු වී ඇත.
එජාපයේ 79 වැනි සංවත්සරය සැප්තැම්බර් 6 වන දා පැවැත්වීමටත්, මාර්තු මාසයේදී සම්මේලනයක් පැවැත්වීමටත්, එජාප නීතිඥ සංගමය අලුතින් පිහිටුවීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගී වන නියෝජිතයන් තමාගේ අනුමැතිය ලබාගත යුතු බවට පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල දැනුම් දී තිබේ.
රූපවාහිනි, ගුවන්විදුලි හා සමාජ මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි වන මන්ත්‍රීවරුන් හෝ පක්ෂ නියෝජිතයන් තමා නම් කරන බව ද මහලේකම්වරිය පවසන්නීය.