රට තුළ සිදු වූ වෙඩි තැබීම්, ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට සහ බුද්ධි අංශවලට වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.
මෙම අපරාධ ජාලයන්ට සෘජුවම සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනකු පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු 'දේශය' පුවත්පතට පවසා ඇත. මෙම තත්ත්වය රටේ මහජන සාමයට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.
මේ අය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව වෙන වෙනම අභ්‍යන්තරික පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පොලිසිය සිද්ධිවලට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන් කළේය. වෙඩික්කරුවන් ලෙස සහභාගිවීම, රාජකාරි ගිනිඅවි පාතාලයට ලබාදීම, ගිනිඅවි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී චෝදනා ඔවුන්ට එල්ලවී ඇති අතර, විමර්ශන අවසන් වූ වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන්, යුද හමුදාවෙන් ආයුධ පැන්නීම් සිදුකළ සහ එල්ටීටීඊ සංවිධානයෙන් රජයට බාරදුන් ගිනිඅවි කඳවුරුවලින් පැන්නීම් සිදුකළ තවත් කිහිප දෙනකු අනාවරණ වී ඇතැයි හෙතෙම කීය. මෑතක සිදුවූ අපරාධ රැසකට තොරතුරු ලබාදීම සම්බන්ධවත් ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම රටේ නීතිය හා සාමය තහවුරු කිරීමට ඉතා වැදගත් වනු ඇත. ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ක්‍රියාවන් මගින් මහජන විශ්වාසයට හානියක් සිදුවන අතරම, රටේ ආරක්ෂාවටද සෘජු තර්ජනයක් එල්ල කරයි.
@ දේශය පුවත ඇසුරිනි