හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ
යෞවන සමාජ දේශපාලන කටයුතු සඳහා යොදා නොගත යුතු බවයි.
දශක හතරකට පෙර තමන් විසින් තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව යෞවන සමාජ ආරම්භ කළේ ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කිරීමට බව ඔහු පැවසීය.
වර්තමානයේ යෞවන සමාජ ව්‍යාපාරය දේශපාලනීකරණය වීම හේතුවෙන් හිටපු හා වත්මන් නිලධාරීන් අතර ගැටුම් සහ උද්ඝෝෂණ ඇතිවී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඔහු යෝජනා කළේ, අමාත්‍යවරයා විසින් හිටපු සහ වත්මන් නිලධාරීන් යන දෙපාර්ශවයම සමඟ සාකච්ඡා කර, සියලු දෙනාටම එකඟ විය හැකි සහ යෞවන සමාජ දේශපාලනීකරණය නොවී පවත්වාගෙන යා හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. එසේ නොවුණහොත් මෙම ගැටලුව තවදුරටත් දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වී යෞවන සමාජ ව්‍යාපාරය විනාශ වී යා හැකි බව ඔහු අවධාරණය කළේය.
"ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි. ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.
මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජවලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාර වල ඉන්නවා. මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ලඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.
දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාල සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.
මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි.
මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසැඳුමක් ලබා දෙන්න.
මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුනොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි.මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි”