08 වැනි සියවසේදී උතුරු ඉන්දියාව, ටිබෙටය, භූතානය, මොන්ගෝලියාව ඇතුළු හිමාල කඳුකර ප්‍රදේශවලට
බුදුදහම හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ගුරු පද්මසම්භව ය.
නෙළුම් මලෙන් උපන් බවට විශ්වාස කෙරෙන, ගැඹුරු බුද්ධ දර්ශනයක් සහ උසස් අධ්‍යාත්මික ශක්තියක් ඇති උන්වහන්සේ කරුණාවේ සංකේතයක් ලෙස ගෞරවයට පාත්‍ර වේ. ලොව පුරා බෞද්ධයෝ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ගුරු පද්මසම්භව වන්දනා කරති.
බෝධිසත්ව තාරා දේවතාවිය ද කරුණාවේ සහ අධ්‍යාත්මික ශක්තියේ සංකේතයකි. මහායාන බෞද්ධ සම්ප්‍රදායේදී කරදර, බාධක, භීතීන් සහ සැකයන් දුරු කර ගැනීම සඳහා තාරා වන්දනාව ප්‍රචලිතය. ආරක්ෂාව සහ අධ්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීම පිණිස ද බෝධිසත්ව තාරා වන්දනාව සිදු කෙරේ.
පිළිම වහන්සේලා වැඩම කරවීම සහ පූජෝත්සවය
නේපාලයේ සිට ගුවනින් වැඩම කරවන ලද මෙම දුර්ලභ හා වටිනා පිළිම වහන්සේලා සඳහා භික්ෂුණී කන්ඩ්‍රෝ සෙරින් වන්මෝ සහ එතුමිය ගේ පවුලේ අය විසින් මූල්‍ය අනුග්‍රහය සපයන ලදී. දින දහහතරකට ආසන්න කාලයක් පුරා ඉන්දියාව සහ නේපාලය ඇතුළු විවිධ රටවලින් පැමිණි බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් ගාථා සහ සූත්‍ර සජ්ඣායනා කරමින් මෙම පිළිම වහන්සේලා සඳහා පුද පූජා පවත්වනු ලැබීය.
බෞද්ධ සහජීවනයේ සන්ධිස්ථානයක්
අද 4 වන දින පෙරවරුවේ මෙම ප්‍රතිමා ප්‍රතිෂ්ඨාපනය හෙයියන්තුඩුව පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ දී පැවති මෙම උත්සවය සඳහා පාලි සහ සංස්කෘත සංස්කෘතීන් නියෝජනය කරමින් සියයකට අධික භික්ෂූන් වහන්සේලා මෙන්ම විශාල ගිහි බැතිමතුන් පිරිසක් සහභාගී වූයේ, ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ ආරාධනයෙනි. මෙහිදී පාලි සහ සංස්කෘත යන සංස්කෘතීන් ද්විත්වයම නියෝජනය කරමින් ආගමික වතාවත් සිදු කිරීම සහ පුද පූජ පැවැත්වීම, බෞද්ධ සංස්කෘතීන් අතර සහජීවනය ලොවට පෙන්වා දුන් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ මෙහෙවර
බෞද්ධ සංස්කෘතීන් අතර සහජීවනය, අවබෝධය සහ දැනුම බෙදාහදා ගැනීමේ අරමුණින් පිහිටුවා ඇති, ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විසින් බුදුදහමේ විවිධත්වය අගයමින් බෞද්ධ ලෝකය එක්සත් කිරීමට ගනු ලබන මාහැඟි වෑයමේ තවත් එක් සංධිස්ථානයක් ලෙස මෙම පුණ්‍යෝත්සවය සැලකේ.
මෙම අතිශය වැදගත් පුණ්‍යෝත්සවය, බෞද්ධ සහෝදරත්වය විසින් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ 90 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහනයි. මෙය බෞද්ධ ලෝකය තුළ සාමය, අවබෝධය සහ සමගිය තවදුරටත් වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇත.
@බෞද්ධ සහෝදරත්ව පදනම