2022 වසරේ ජූලි මස 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 23) තීන්දු කර තිබේ.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීරණය කර ඇත්තේ, වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මීට පෙරද පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදී තිබුණු අතර වත්මන් ආණ්ඩුව එවක මැතිවරණ වේදිකාවන්හිදී ඒ පිළිබඳව ජනතාවට පොරොන්දු වූයේ ඊට අදාළ දඩුවම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම තීන්දුවත් සමඟ පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද රජයට නියම කර ඇත.