අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් හෝ
නිශ්චිත යෝජනාවලියක් මෙතෙක් සකස් කර නොමැති බව සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හෙට (24) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලබන ‘පවර් පොයින්ට්’ ඉදිරිපත් කිරීමක් හෝ වෙනත් ලියවිල්ලක් මත පදනම්ව දැනට සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් විය යුත්තේ අධ්‍යාපන විශේෂඥයන්, විෂය ප්‍රවීණයන් සහ විවිධ සමාජ කණ්ඩායම්වල අදහස් මත පදනම්ව බවද ඔහු අවධාරණය කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සංවාදය පක්ෂය අභ්‍යන්තරයේද මතභේද ඇතිකර තිබූ බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.
කෙසේ වුවද පසුගිය දා අධ්‍යාපන ඇමතිනී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ 2026 සිට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙන බවය.
එමෙන්ම ප්‍රතිසංස්කරණ සිදුකරන ආකාරයන් පවා ඇය විසින් පවසන ලද අතර සති කිහිපයක් පුරා ඒ පිළිබඳව විශාල සංවාදයක් නිර්මාණය වී තිබුණි.
එහෙත් අද අමාත්‍ය බිමල් රත්නායක පවසන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවමත් ලියවිල්ලකටවත් ඇතුලත් නොකළ, සාකච්ඡාවකට පමණක් සීමාවූවක් පමණක් වී තිබේ.