ශ්‍රී ලංකාව ඉකුත් ජුනි මාසයේ දී විදුලි ජනනයෙන් සියයට 70ක්
පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමු වරට ලංකා විදුලිබල මණ්ඩලය 2025 ජුනි මාසයේ දී එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇතැයි පැවසේ.
ඒ ජුනි මාසය අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් පෙන්වා ඇති තත්ත්වයක් යටතේ වීම සුවිශේෂී කරුණකැයි ද ඔවුන් පවසයි.
කෙසේ වුවත් පසුගිය වත්මන් ආණ්ඩුව බලයට පත්විමෙන් පසු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය අධෛර්යමත් කෙරෙන තීන්දු ගත් බවත්, ආණ්ඩුව ලංකා විදුලිබල මණ්ඩලයේ තෙල් මාෆියාවට හසුව ඇති බවටත් බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ චෝදනාවක් වූ අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවා රජය ගනු ලැබූ යම් තීන්දු තීරණ ගැන ඉතාම අප්‍රසාධයෙන් විචාරයන්ට ලක් කර තිබුණි.
විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශයන් හි දැක්වෙන්නේ බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70ක් ජුනි මාසයේදී පුනර්ජනනීය බලශක්තියෙන් සිදුවීම සන්ධිස්ථානයක් බවත්, රටේ විදුලිබල සැපයුම සියයට සියයක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය කළ ජල විදුලි – තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනය වීමක් පෙන්නුම් කරන බවත් ය.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය ලංකාවේ විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කිරීමක් බවය.