ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු, විකලාංග, අක්ෂි ඇතුළු අංශ කිහිපයකම
සැත්කම් උපකරණ නොමැති වීමෙන් මේ වන විට රෝහලේ අක්ෂි සැත්කම් මුළුමනින් ම නතර වී ඇති අතර උගුර, කන, නාසය පිළිබඳ සැත්කම් 75%කින් පමණ අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ගවලට අනුව, හදවත් සැත්කම්ද තව නොබෝ දිනකින් මුළුමනින් ම නතර වීමේ අවදානමක් පවතින බව අනාවරණය කළේ ය.
රෝහල්වල ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පිටතින් උපකරණ ගෙන්වාගෙන සැත්කම් සිදුකළ වෛද්‍යවරුන් මෙම රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ල වීමෙන් පසුව ඖෂධ සහ උපකරණ බාහිරින් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම නතර කර තිබීම මේ තත්ත්වයට හේතුව බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ඔවුන් මෙම සිදුවීමෙන් තිගැස්මකට පත්ව ඇතැයි ද වාර්තා වේ.
විශේෂඥ වෛද්‍යවරුන් පමණක් නොව සෙසු වෛද්‍ය නිලධාරීන්ද මේ වන විට ඖෂධ නිර්දේශ කිරීමේදී යම් දෙගිඩියාවකින් පසුවන අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් අසීරුතාවකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.
‘රෝහල සාමාන්‍ය පරිදි වැඩ, කිසිදු ගැටලුවක් නෑ’- වැඩබලන අධ්‍යක්ෂක
මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසන්නේ, ගැටලුවකින් තොරව ශල්‍යකර්ම සියල්ල සිදුවන බවත් කිසිවක් අවලංගු කර නොමැති බවත් ය.
එහිදී වෛද්‍යවරයා මෙසේ ද පැවසීය.
“ගැටලුවක් නෑ. අපේ ශල්‍යකර්ම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. කිසිවක් අවලංගු කරලා නැහැ. මඩ ප්‍රචාර තමයි යන්නේ. ඇත්තටම මේ රෝහල අනෙකුත් රෝහල්වලට අභියෝගයක්නේ. මේකේ පරක්කු වෙනවා නම් සාමාන්‍ය ජනතාවට අනෙකුත් රෝහල්වලට යන්න වෙනවනේ. අපි ටෙන්ඩර් කරලා තියෙන්නේ. සමහර විට රටේ පවතින හිඟය තියෙනවානේ.
පහුගිය දවස්වල ඇති වුණු තත්ත්වයත් එක්ක එක එක කතන්දර කියනවා. ඒ වුණාට ඖෂධ සැපයීම ක්‍රියාවලිය දිගටම තියෙනවා. දිගටම ප්‍රතිකාර කෙරෙනවා. රෝගීන්ට ගැටලුවකින් තොරව ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. සහතික වෙන්න පුළුවන්. කාවත් හරවලා යවලා නැහැ. දිගටම රෝගීන් ඇඩ්මිට් වෙනවා. නොමිලේ සිදු කරන ප්‍රතිකාරත් ඒ විදිහට යනවා. රෝගීන්ව හරවලා යවන්නේ නැහැ.”
@රවිශාන් ප්‍රනාන්දු
mawbima