ඊශ්‍රාලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් පෙරේදා (13 වැනිදා) දිනයේදී සියයට 10 කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 6.29 කින් ඉහළ ගොස් ඇත. එම බැරලයක නව මිල වන්නේ එක්සත් ජනපද ඩොලර් 75.65 කි. මෙය ඉකුත් අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය ය.
මෙරටට බොරතෙල් වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ මැද පෙරදිග කලාපයෙනි. ඒ අනුව මැද පෙරදිග කලාපයේ යුද වාතාවරණය නිසා මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බලපෑමක් ඇතිවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර, නොසන්සුන් තත්ත්වයත් සමග ගුවන් ගමන් සීමාකර තිබෙන බැවින් ඊශ්‍රාලයට පැමිණෙන සහ ඊශ්‍රාලයෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් පමා කරන ලෙස දන්වා ඇත.
එමෙන්ම, සතුරු පාර්ශ්වවලින් එල්ල වියහැකි මිසයිලවලින් ආරක්ෂාවීමට ආරක්ෂිත කුටිවල රැඳී සිටින ලෙසද ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී ඇත. ඊශ්‍රාලය ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානි හුසේන් සලාම් මියගොස් ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරිද මියගොස් ඇතැයි ඉරාන වාර්තා කියයි. මෙම මෙහෙයුම ඊශ්‍රාලය නම්කර ඇත්තේ “ඔපරේෂන් රයිසින් ලයන්’’ නමිනි. ඉරානයේ න්‍යෂ්ටික ගබඩා, හමුදා මූලස්ථාන ආදිය මෙම ප්‍රහාරක මාලවේ ඉලක්කය වී ඇතැයි විදෙස් වාර්තා කියයි.
ඊශ්‍රාලය මෙම ප්‍රහාර ඉරානයට එල්ල කර ඇත්තේ IAF ජෙට් යානා යොදාගෙනය.
මෙම ප්‍රහාරයෙන් පසු ඉරානය ඊශ්‍රාලයට ප්‍රහාරක යානා 200 ක් පමණ යොමුකර ඇතැයිද පැවසේ. මෙම යුදමය තත්ත්වය ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති.