SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස

මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

 

 

ඒ අනුව ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

 

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 

 

මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසිනි.

 

හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු සුරා බදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

 

 

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, ඉකුත් වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස 26 වන සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස 21 වන දා අතර කාලසීමාව තුළ වග උත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බවය. 

 

 

හිටපු අමාත්‍යවරයක් වන ශාන්ත බණ්ඩාර ගේ 19 හැවිරිදි පුත්‍රයාට ද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරු දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙලෙස මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බවඳ සඳහන් කරයි.

 

 

ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකර ඇති බැවින් මේ පිළිබඳව බලපත්‍රලාභී මත්පැන් හල්හිමියන්ගේ සංගමය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබූ බව ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්නේය.

 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් කාලාවරෝධී වීමෙන් පසුව ඉදිරිපත් කර තිබෙන බැවින් මේ තුළින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර ඇති බවය.

 

එමෙන්ම මෙම නඩුකරයට පාදක වන සුරා බදු රෙගුලාසි අහෝසි වී මේවනවිට නව රෙගුලාසි නිකුත් කර තිබෙන බව ඇය සඳහන් කරයි.

 

අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය නොවැම්බර් මස 19 වන දා සිදුකිරීමටද දින නියම කර තිබේ.

 

 

නවතම ලිපි