පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත්
දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳවැටුණු බවත් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත පවසයි.
හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500 ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී (22) පැවැති උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍යවරයා එසේ පවසා තිබේ.
හොරකම, දූෂණ සහ වංචාව සියයට 100 ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත් වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නොව රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල් කාන්ත කියයි.
වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොදින් කරගෙන යන්නේ යැයි ආණ්ඩුව විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය කඩා වැටීමට ඉඩහැරි බවත් අතීතයේ මෙරට ගමක රාජ්‍ය සේවයේ කටයුතු කරන කෙනෙක්ට පුදුමාකාර පිළිගැනීමක් තිබූ බවත් ඔහු පවසයි.
රාජ්‍ය සේවකයෙක් කියූ පමණින් අද වන විට හොරෙක්ද, ගැහිලිකාරයෙක්ද යැයි විමසන බවත් අමාත්‍යංශයක ලේකම් කෙනෙක් කිව්වම අද හිතන්නේ මිනිහත් අර පොහොර සිද්ධියට හවුල් ඇති බවත් අමාත්‍යවරයා කීය.
හයිලන්ඩ් සහ එන්එල්ඩීබී ආයතන විකිණීමට නියමිතව තිබූ බවත් අමුල් සමාගම සමඟ ඇතිකරගත් එකඟතාවක් තවමත් පවතින අතර මෙම ආයතන දෙකේ අත පය දිග හැර වැඩකළ නොහැකි බවත් ඔහු පවසයි.
ඉන්දියාවත් සමඟ සම්බන්ධය නිදහස් කරගෙන, ලොකු රාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ලක් නොවන ආකාරයට නිදහස් කරගෙන මෙම ආයතන දෙකේ කටයුතු කරන්න ඉඩ සළසාගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටක් පවසයි.
දේශීය ආයෝජකයන් ආයෝජනවලට සම්බන්ධ වීමට නිතරම විමසන අතර එන්එල්ඩීබී ඉඩම් අක්කර 500 ක් මැලේසියාවට දූරියන් යැවීමේ වගාවක් සඳහා මෑතකදී ඉල්ලා සිටින බවත් මෙරට සියලුම ඉඩම් විදේශ විනියම උපයන නිෂ්පාදනයක්ට ගියහොත් මෙරට ජනතාවගේ ආහාර නිෂ්පාදනයට ඉඩම් නොමැති තත්වයක් ඇති බවත් හෙතෙම කීය.
‘මිලිකෝ’ ලෙස සඳහන්ව ඇති කල්කිරි බෝතලයක් බීමට තමන් ඇතුළු බොහෝ දෙනෙක් අදත් සොයන බව කී ලාල් කාන්ත අමාත්‍යවරයා පෞද්ගලික අංශයේ නිෂ්පාදනවලින් වස විෂ සම්බන්ධ ගැටලු මතුවුවද රාජ්‍ය අංශයේ කිසි නිෂ්පාදනයකින් එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇති නොවූ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.