ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ
තුවාල ලැබූ පුද්ගලයින්ට ජනාධිපති අනුර කුමාර දිසානායක ශෝකය පළ කර තිබේ.
මේ අතර ප්‍රහාරයෙන් පසු ඉන්දියා – පාකිස්තාන ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමට, ඉන්දියානු රජය තීරණය කර ඇත.
ප්‍රහාරය හෙළාදකිමින් හා විපතට පත්වුවන්ට ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X ගිණුමෙහි සටහනක් තබා තිබේ.
නරේන්ද්‍ර මොදි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ එරට ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව රැස් ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් තීරණය කිහිපයකට එළබුණු බව එරට රජය නිවේදනය කර තිබේ.
ඉන්දියාව සහ පකිස්ථානය සම්බන්ධ කරන ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීම ඉන් එක් පියවරකි.
දෙරට අතර ජලය බෙදා ගැනීමේ ගිවිසුමක් අත්හිටුවීම, රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම සහ පකිස්ථාන වීසා බලපත්‍රලාභීන්ට පැය 48ක් ඇතුළත පිටව යන ලෙස නියෝග කිරීම සෙසු තීරණ අතර වේ.
ඉන්දීය රජය මෙම ප්‍රහාර පිළිබඳව ඇගිල්ල දිගු කරන්නේ පකිස්ථානයටය. පාකිස්ථානය වක්‍රව වගකිව යුතු බවට ඉන්දියාව සංඥා කර තිබේ. පකිස්ථාන් රජය කාෂ්මීර කලාපයේ සන්නද්ධ කණ්ඩායම්වලට සහය දක්වන බවට ඉන්දියාව දිගු කලක් තිස්සේ චෝදනා කරයි.
මේ අතර ඉන්දීය හා පාකිස්ථාන හමුදා කණ්ඩායම් අතර වෙඩි හුවමාරුවක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබේ යැයි වාර්තා වේ.
ඒ ජම්මු කාශ්මීර දේශසීමාවේදීය.
පාකිස්තාන හමුදාව විසින් පළමුව ඉන්දීය මුරපොලවල් වෙත වෙඩි තබා ඇති බවත් පසුව ඉන්දියා හමුදාවද ප්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවද මෙම වෙඩි තබාගැනීම් වලින් කිසිවෙකුට හානියක් සිදුවී නැත.
ප්‍රහාරය සම්බන්ධයෙන් වන චෝදනා ප්‍රතික්ෂේප කරන පාකිස්ථාන නිලධාරීන්, ඊට ප්‍රතිචාර දැක්වීමට අද සිය රජය රැස්වන බව පකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඊයේ සිට තවදුරටත් ක්‍රියාත්මකය.
කාශ්මීරයේ ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවට ඉන්දියානු ආරක්ෂක අංශ විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.