ඉතිරි දින කිහිපය සඳහා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා
ප්‍රමාණවත් පිරිසක් දැනටමත් මහනුවර නගරයේ රැස්ව සිටින බව මහනුවර පොලිසිය පවසයි.
එබැවින් අද සිට නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට නොපැමිණෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ මාධ්‍ය අමතමින් ඔවුන් කියා සිටියේ මහනුවර නගරය තුළ මාර්ගවල ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් නොමැතිකම හේතුවෙන් ගැටඹේ ක්‍රීඩාංගණයේ බස් රථ 32 කට ආසන්න ප්‍රමාණයක් නවතා ඇති බවයි.
මහනුවර නගරයේ විශාල පිරිසක් එක්රැස් වීම විවිධ සමාජීය හා සෞඛ්‍ය ගැටලුවලට හේතු විය හැකි බව ඔවුහු තවදුරටත් පැවසූහ.
මේ අතර, දැනටමත් පෝලිම්වල සිටින අය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා විශේෂ හඳුනාගැනීමේ ස්ටිකර් ක්‍රමයක් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, පෝලිම්වල සිටින පුද්ගලයින් අතර ස්ටිකර් 150,000 ක් බෙදා හැර තිබේ. මහනුවර-කටුගස්තොට මාර්ගයේ මහයියාවේදී ස්ටිකර් 50,000 ක් බෙදා හැරීම අවසන් කරන ලද අතර, මහනුවර වැව වටා ඩෙවොන් රෙස්ට් දක්වා පෝලිම් දෙකක් ඔස්සේ ස්ටිකර් 100,000 ක් බෙදා හරින ලදී.
කෙසේ වුවද සිරි දළදා වන්දනාව සඳහා තවදුරටත් පෝලිම්වලට එක් රැස් නොවන ලෙස ඊයේ පොලිසිය විසින් කරන ලද දැනුම්දීම නොතකමින් අද දිනෙය්ද විශාල වශයෙන් ජනතාව පෝලිම්වලට එක්රැස්වෙමින් සිටින බව වාර්තාකරුවන් කියයි.
එම තත්වය මත අද පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ මහනුවර නගරයට දළදා වන්දනාකරුවන් කිසිවෙකුට ඇතුළු වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බවය.
ඒ අනුව මේ වන විටත් දළදා වන්දනාව සඳහා පැමිණෙමින් ඇති බස් රථ ඇතුළු වාහන මහනුවරට ආසන්න නගර වල නවතාලීමට පොලිසිය කටයුතු කරමින් සිටී.