SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද, ඉරිදා දවසේ, සවස 3.00ට නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය සහ

ඒ මත පදනම්ව ඇතැම් මාධ්‍ය සිදුකරන ප්‍රවෘත්ති වාර්තාකරණය වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සම්බන්ධයෙන් කිසියම් ව්‍යාකූල හා විකෘති සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව පෙනෙන්නට ඇති අතර, එය සමාජ මාධ්‍යවල පවා දැඩි ආන්දෝලනයකට ද තුඩුදී තිබේ.

 

484530325 10237245088610755 7776105815892818732 n

 

එම නිවේදනයේ මෙන් ම ඇතැම් 'බ්රේකිං නිවුස්වල' ද දැක්වෙන්නේ, ඉහත සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති පොලිස්පති ධූරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් හැර ඉතිරි සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව ය.

 

ඇතැම් ප්‍රවෘත්තිවලින් කියැවෙන්නේ මේ නීතිපති උපදෙස අද (16) ලබාදුන් බව ය. (උදාහරණ – දෙරණ වෙබ් අඩවිය)

 

484171161 10237245109451276 5471640316535131527 n

මෙය රටතුළ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු මුළුමනින් ම විකෘති කිරීමක් හා මහජනයා නොමඟ යැවීමකි‍‍.

 

දේශබන්දු ගැන තීන්දුව හෙට!

 

මේ මාධ්‍ය නිවේදනය හා ඒ මත පදනම්වූ බ්රේකිං නිවුස් පළවන්නේ, මේ සිද්ධියට ම අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන්නැයි ඉල්ලා පොලීසියෙන් සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ ඉදිරිපත් කර ඇති රීට් පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය විසින් හෙට දිනයේ ලබාදීමට නියමිත පසුබිමක වීම තත්ත්වය තවත් බැරෑරුම් කරවයි.

 

මාධ්‍ය නිවේදනයෙන් මෙන් ම, ඒ මත පදනම් වන ප්‍රවෘත්ති බොහොමයකින් ද හැඟවෙන්නේ දේශබන්දු හැර මෙම නඩුවේ ඉතිරි සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා එම සැකකරුවන්ගේ නීතීඥයන් හා අභියායචනාධිකරණයේ දී එකඟවී ඇති බවත්, ඒ අනුව ඒ කිසිවකුත් දැනට අත්අඩංගුවට නොගැනෙන බවත් ය.

 

 

දින වකවානු සඟවලා

 

දින වකවානු නොමැතිව මේ ප්‍රවෘත්තිය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඉදිරිපත් කර ඇත්තේ එම එකඟතාව හා නීතිපතිගේ උපදෙස මේ මෑතක දී සිදුවූවක් බව අනියමින් ඇඟවෙන පරිදි ය. හරියටම කියතොත්, එය දේශබන්දු ගේ පෙත්සම ඉදිරිපත් වී, ඒ ගැන පසුගිය සතියේ අභියාචනාධිකරණයේ සලකා බැලී, එහි තීන්දුව හෙට ලබාදීමට තීරණය වූවාටත් පසුව සිදුවූවක් ලෙසට ය. පොලිස් මාධ්‍ය නිවේදනයෙන් සමාජ මාධ්‍ය පමණක් නොව අනෙකුත් ප්‍රසිද්ධ මාධ්‍ය ද නොමග ගොස් ඇති බව මේ සමග අමුණා ඇති ප්‍රවෘත්ති වාර්තාවලින් පැහැදිළි වෙයි.

 

එහෙත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ කර ඇත්තේ මුළුමනින් වැරදි තොරතුරු සැපයීමක් හා නොමඟ යැවීමකි.

 

 

උපක්‍රමික නොමඟ යැවීමක්?

 

ඔවුන් මේ නොමඟ යවන තොරතුර සපයන්නේ තමන්ගේ නොමඟ යැවීම සඟවාලන හා නිදහසට කරුණු කියන්නට අවස්ථාවක් සලසාගන්නට මාන බලන කිසියම් උපක්‍රමික භාවිතාවක් ද සහිතව ය.

 

ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය නිකුත් වන්නේ "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැලිගම වෙඩිතැබීමට අදාළ සැකකරුවන් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීමක්” ගැන මාධ්‍යය දැනුවත් කරන විලාසයක් මවාපාමිනි.

 

එහිදී දේශබන්දු හැර සිද්ධියේ අනෙක් සැකකරුවන් වන පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාදිපති ඇතුළු 06දෙනා තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන ලෙස රීට් පෙත්සම් ඉදිරිපත් කරන්නේ කවදාද, ඔවුන් අත්අඩංගුවට නොගන්නා බවට ඔවුන්ගේ නීතීඥයන් සමඟ අභියායචනාධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාවකට පැමිණෙන්නේ කවදාද, ඒ අනුව නීතිපතිවරයා ඉහත උපදෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්නේ කවදාද යනාදී කාලවකවානු කිසිවක් ඉදිරිපත් නොකරමිනි‍.

 

ඒවා මේ අද ඊයේ සිදුවූ දෑ ලෙස කෙනෙකුට බැලූ බැල්මට පෙනීයා හැකි පරිද්දෙනි.

 

 

උපක්‍රමය සාර්ථකයි

 

පොලීසියේ ඒ උපක්‍රමය සාර්ථක බව ඒ නිවේදනය මත පදනම්ව මාධ්‍ය ඉදිරිපත් කරන ප්‍රවෘත්ති වාර්තාකරණයන්ගෙන් පෙනේ. මාධ්‍ය කිහිපයකින්ම හැඟවෙන්නේ මේ නීතිපති උපදෙස අද හෝ ආසන්න දවසක දී නිකුත්වී ඇති බව ය.

 

සමාජ මාධ්‍ය තුළින් ද මේ සමස්ත සිදුවීම දැඩි විවේචනයකට ලක්වන්නේ, පොලීසිය මෙලෙස මේ දිනවකවානු සඟවා තැබීමෙන් මුලාවට පත්වීම හේතුවෙනි. ඒ ව්‍යාකූලත්වය ආණ්ඩුව පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය ද විවේචචනය කරන තත්ත්වයකට පවා සමාජ මාධ්‍ය තුළින් ගමන්කර ඇති බව දැකගත හැකි ය.

 

මෙය හෙට දිනයේ දේශබන්දු ගේ රීට් පෙත්සමට අදාළව ලබාදීමට නියමිත තීන්දුව සම්බන්ධයෙන් සිදුකරන අනියම් බලපෑමක්ද යන සැකය බරපතල ලෙස නැඟෙමින් පවතින බව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල මේ වනවිට ඇරැඹී ඇති සංවාදයෙන් ද පෙනීයයි.

 

 

හරි දින වකවානු

 

වැලිගම වෙඩිතැබීමේ නඩුවට අදාළව දේශබන්දු තෙන්නකෝන් මෙන් ම, පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු 6දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරන්නේ පසුගිය පෙබරවාරි 27වැනිදා ය‍.

 

ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු 6දෙනා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි රීට් පෙත්සමක් අභියායචනාධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ මහේස්ත්‍රාත් නියෝගයටත් සෑහෙන කාලයකට කලිනි.

 

අපේ තොරතුරුවලට අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා බවට එම සැකකරුවන් 07දෙනාගේ නීතීඥයන් සමඟ නීතිපති දෙපාර්තමේන්තුව අභියායචනාධිකරණයේ දී එකඟතාවකට එන්නේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය එන්නට මාස කිහිපයකට ඉහතදී ය. මේ පෙත්සම් විභාගයේ අවසන් නඩුවාරය පැවතියේ පසුගිය ජනවාරියේදී ය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ, අත්අඩංගුවට නොගැනීමේ ස්ථාවරය ඊළඟ නඩුවාරය දක්වා පවත්වාගෙන යන බව ය. ඊළඟ නඩුවාරය ඇත්තේ ලබන 21වැනිදා ය.

 

ඇන්ස්ලම් ද සිල්වා ප්‍රමුඛ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත මෙම සැකකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තර ලබාගෙන ඇත්තේ 2025 පෙබරවාරි 3වැනිදා ය‍.

 

 

අලුත්ම ප්‍රවෘත්තියක් වගේ කියලා

 

තතු මෙසේ තිබිය දී, අද පොලිස් මාධ්‍ය නිවේදනය අලුත්ම ප්‍රවෘත්තියක් මාධ්‍යයට හෙළිදරව් කරන්නාක් මෙන් කියන්නේ “මූලික විමර්ශන අවසන් වනතුරු ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිතුමා විසින්” උපදෙස් ලබාදී ඇති බව ය. එහෙත් මේ උපදෙසට අනුව ප්‍රකාශ සටහන් කරගැනීම, මේ නිවේදනය නිකුත්කරන අද දිනයට සති 6කට පෙර සිදුකර අවසන් ය.

 

මාධ්‍යයට නිවැරැදිව හා පැහැදිළිව කරුණු හෙළිදරව් කිරීමේ වගකීම සහිත පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ මේ නිවේදනයේ උක්ත දින වකවානු කිසිවක් නොදක්වයි. ඒවා සැඟවීමෙන් මහත් ව්‍යාකූලත්වයක් ඇතිකරයි.

 

 

සමස්ත ක්‍රියාවලියට දැඩි සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

 

මේ නොමඟ යැවීම නිසා ඇතැමුන් සමාජ මාධ්‍යයේ පවා තර්ක කරමින් සිටියේ, සෙසු සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට නීතිපපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ එකඟතාවකට ආවේ නම්, එම නඩුවේ ම සැකකරුවකු වන දේශබන්දු තෙන්නකෝන්ටත් ඒ තීරණය ම හිමිවීම සාධාරණ බව කියමිනි.

 

මේ සිදුකර ඇත්තේ පැහැදිළි තොරතුරු විකෘති කිරීමක් පමණක් නොව හෙට දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ලබාදීමට නියමිත අභියායචනාධිකරණ තීන්දුව ගැන අවුල් සහගත හා විවේචනාත්මක කතිකාවක් ඇතිකිරීමත්, අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් නොව ආණ්ඩවේ විශ්වාසය ද බිඳවැට්ටවීමත් අරමුණු කරගත් කුමන්ත්‍රණයක්ද යන්න සලකා බැලීම අදාළ වගකිවයුත්තන්ට බාර ය.

@Sanath Balasooriya

නවතම ලිපි