ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් රජයට ගෙවිය යුතු
රුපියල් බිලියන 3.5ක බදු මුදල මෙතෙක් ගෙවා නැති අතර එය අයකර ගැනීම සඳහා දේශීය අදායම් දෙපාර්තමේන්තුව නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
අර්ජුන් ඇලෝසියස් බදු පැහැරහැරීම නිසා සිර දඬුවම් විඳ නිදහස් වුවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් බදු අනිවාර්යයෙන් ම ගෙවිය යුතු බව ත් ඒ අනුව අදාළ බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමිෂනර් ජනරාල්ට හිඟ බද්දක් ලෙස ගෙවිය යුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
අර්ජුන් ඇලෝසියස් මේ සම්බන්ධව ගොනුකළ අභියාචනයක් මහ අධිකරණයේ විභාග වෙමින් තිබෙන අතර තහනමට ලක්ව ඇති මෙන්ඩිස් සමාගම නැවත ආරම්භ කිරීමට සහන සැලසීමට රජය කටයුතු කරන බවට ප්‍රවෘත්තින්ද පසුගියදා පළ වී තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අර්ජුන් ඇලෝසියස් අභියාචනාධිකරණයේ රීට් නඩුවක් පනවා ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ඇස්තමේන්තු නීතියට පටහැනි කටයුතු ඇති බවට ඇලෝසියස් එහිදී කරුණු කියා ඇති බව ද ඔහු කීය.
රුපියල් බිලියන 3.5ක බදු මුදල අයකර ගැනීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා ඇත්තේ මේ හේතුවෙනි.
කෙසේ වෙතත්, තවමත් එම උපදෙස් හා නිර්දේශ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබී නැත.
ඊට අමතරව මුදල් අයකර ගැනීමට මහ බැංකුවෙන් ද උපදෙස් විමසා තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ සඳහා මහ බැංකුව මේ දක්වා නිශ්චිත පිළිතුරක් දී නැත.
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වැට් බදු ලෙස ගෙවීමට තිබෙන රුපියල් බිලියන 3.5ක මුදල් මහ බැංකු බැඳුම්කර සිද්ධිය හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් උසාවිය අත්හිටුවා තිබෙන රුපියල් බිලියන 12න් අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීති ප්‍රතිපාදන සොයා බලමින් සිටියි.
මේ අනුව, මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූවා යැයි කියන සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් රුපියල් බිලියන 12ක මුදලක් උසාවි නියෝගයක් මත මහ බැංකුවේ අත්හිටුවා ඇති බවත් එම මුදල්වලින් අර්ජුන් ඇලෝසියස්ගේ දඩ මුදල අයකර ගැනීමට පවතින නීති ප්‍රතිපාදන පිළිබඳ සලකා බලමින් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආරංචිමාර්ග පවසයි.
අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ කෙනෙක් වීම හා එම සමාගම්ද ඔවුන්ට අයත් වීම මීට හේතුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අර්ජුන් ඇලෝසියස්ගේ වැට් බදු පැහැර හැරීම කළැයි චෝදනාවට දඩ මුදල් ලෙස පැනවූ අයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 3.5ක පමණ මුදල අයකර ගැනීමේ අවස්ථාව සොයා බලන බව ඔවුහූ පෙන්වා දුන්හ.
මෙම රුපියල් බිලියන 3.5ක මුදල අධික මුදලක් බවත් භෞතික දේපළ පවරා ගැනීමකින් ලබාගැනීම අපහසු, ප්‍රායෝගික නොවන්නේ යැයි පෙනීයන බව කීය.
කෙසේ වෙතත්, අර්ජුන් ඇලෝසියස්ගේ නමට ඇති කිසියම් දේපළක් ඔහු විසින් විකුණා දමා උසාවියට දඩ මුදල ගෙවීමට ඔහුට ඉඩ ඇති බවත් මේ සඳහා ඔහුට කිසියම් අවස්ථාවක් ලබා දීමට හැකි නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ කෙසේ හෝ දඩ මුදල් අයකර ගැනීම බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අනුව අර්ජුන් ඇලෝසියස් අයකර ගැනීමට වෙනත් වත්කම් නැති නම් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අත්හිටුවූ රුපියල් බිලියන 12ක මුදලෙන් අයකර ගැනීමට ඇති හැකියාව වෙත දෙපාර්තමේන්තුව යොමුවී ඇත.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 43 වගන්තිය ප්‍රකාරව වැට් බදු මඟහැරීමේ චෝදනාවට අර්ජුන් ඇලෝසියස්ට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පැවැරිණි.