සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඇතුළු
එහි නැගෙනහිර පළාත් මුස්ලිම් නායකයින් අතර සාකච්ඡාවක් ඊයේ (25) දින සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණ.
එහිදී මුස්ලිම් ප්‍රජාව අතර පැවති විවිධ ගැටළු සහ අනවබෝධයන් පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර, රටේ අනාගතය සම්බන්ධයෙන් සියලු ම ආගමික කණ්ඩායම් එකට එක් වී වැඩ කරන ආකාරයත් එය උගත්, බුද්ධිමත්, දර්ශනයක් සහිත මාර්ගයක් ඔස්සේ ගමන් කරන ආකාරය ගැන දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැණින. විශේෂයෙන් ම පසුගිය කාලයේ දී ඇති වූ යම් යම් අනවබෝධ දුරු කර ගැනීම සඳහා ඉතාමත් ම ප්‍රගතිශීලී අදහස් දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීම විශේෂත්වයකි.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක..
“අද දිනයේ අපි පක්ෂයේ නිලධාරි මණ්ඩලයත් අපගේ මුස්ලිම් නායකයනුත් එක්ක අපි ජමෙයිතුල් උලමා ඉස්ලාමීය බුද්ධිමතුන් සමඟ සාකච්ඡාවක් ඇති කර ගත්තා. වර්තමානයේ රටේ පවතින තත්ත්වය ගැනත් ඒ වගේම ජාතික, ආගමික සම්බන්ධ වෙමින්, මොකද ලෝකේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. ලංකාවෙත් තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. අපෙත් පැරණි තත්ත්වයන් තියෙනවා. අලුත් තත්ත්වයන් තියෙනවා. ඒ පිළිබඳ අපි ස්තූතිවන්ත වෙනවා. අපි දෙගොල්ලෝ අතරේ හොඳ සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ අය දේශපාලන පක්ෂයකට සෘජුව උදව් කරන්නේ නැහැ. නමුත් ඒ සමාජයේ උගතුන්, බුද්ධිමතුන් හැටියට සමාජයේ ආගමික වශයෙන් මෙහෙයවන පිරිසක් හැටියට කොයි විදිහටද ඒ අය මේ ප්‍රශ්න ගැන හිතන්නේ සහ අපි හිතන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් අපි දෙගොල්ලෝ අතර ඇති වුණා.”
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක;
ප්‍රශ්නය:
විදුලිබල ඇමැති කියනවා විදුලිබල මණ්ඩලයේ ලාභය අඩුවෙලා තියෙනවා. මේ නිසා විදුලිය බිල වැඩි කරන්න සිදුවෙනවා කියලා. මේ වෙලාවේ මේ මිල වැඩි කිරීම සාධාරණයි කියලා ඔබ හිතනවද?
පිළිතුර:
මිල වැඩි කරන්න විදුලිබල මණ්ඩලයට බෑ. මිල වැඩි කරන්නේ මහජන උපයෝගිතා කොමිසම. රටේ කොයි කාලෙත් එතුමා එන්න කලිනුත් ජනවාරි, පෙබරවාරි, මාර්තු වල වැහි නැහැ. නමුත් අපි මතක තියාගන්න ඕනේ ජනවාරි පළවෙනිදා රටේ ජල විදුලිය ඉතාම හොඳ තත්වයක් තිබුණා. පැය 1200කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ ප්‍රමාණය පාවිච්චි කිරීමයි කළ යුතුව තිබුණේ. නමුත් අද කරන්නේ මොකක්ද?
හැමදාම ඉරිදත් සෙනසුරාදා දවස් වලට නිකන් ලැබෙන සූර්ය බලය නිකන් ලැබෙන සුළං බලය කප්පාදු කරලා ඒ වෙනුවට තෙල් ඉන්ධන පාවිච්චි කරලා විදුලිය නිපදවලා ඒකට අධික වියදමක් දරලා අපිට කියනවා මේ දැන් ඉතින් මේ පායන හින්දා ප්‍රශ්නයක් තියෙනවා කියලා. පායන හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ කළමනාකරණයේ පිළිබඳ ගැටලුවක් තියෙන්න ඕනේ.
විදුලි ගාස්තු වැඩි වෙනවා නම් හෝ විදුලි කප්පාදු වෙනවා නම් ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව එහි වගකීම දරන්න ඕන. මොකද ඉතාම හොඳ ජල විදුලි තත්ත්වයක් ජනවාරි පළවෙනිදා තිබුණා. ඒ වගේම දෙපාර්තමේන්තුවෙන් කියනවා සීයට අසූවක් විතර මේ වැව්වල තාම ජල මට්ටම තියෙනවා. සමහර වැව්වල සීයට අනූවක මට්ටමක්. කිසිම ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුව මේ ගාස්තු වැඩි කරන්න කැමති වුනේ නෑ. මහජන උපයෝගිතා කොමිසමනේ ගාස්තු අඩු කළේ. ගාස්තු වැඩි කිරීම තමයි ඒ වෙලාවෙත් විදුලිබල මණ්ඩලය හා ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ වුවමනාව තිබුණේ. නමුත් රටේ ජනතාවට නම් කිව්වේ වෙන එකක්. තුනෙන් එකකින් විදුලි ගාස්තු අඩු කරනවා කියලා.
ඉතින් මේ විදුලි ගාස්තු වැඩි කිරීමට මොකක් හරි හේතුවක් හොය හොය තමයි ඉන්නේ. ඒකට එක හේතුවක් හැටියට තමයි අපි දකින්නේ මේ නොමිලේ ලැබෙන සුළං බලයයි, සූර්ය බලයයි කප්පාදු කිරීම. මේක ජාතික අපරාධයක් විතරක් නෙවෙයි.
විශේෂයෙන්ම අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සහතික වෙච්ච එකට පටහැනිව ඒ කියන්නේ පොදු යහපතට එරෙහිව පාලකයන් විසින් ගන්නා උත්සාහයක්. ඒ වගේම මේක රාජ්‍ය දේපළ අපහරණය කිරීමක්. මේ හැම කටයුත්තකටම අනාගතයේ වගවීමට සිද්ධ වෙයි. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලනවා නොමිලේ ලැබෙන සුළං බලයයි, සූර්ය බලයයි කප්පාදු කරලා තෙල් වලින් විදුලිය නිපදවලා එහි බර ජනතාව පිට දැමීම තරං අයුක්ති සහගත, අපකීර්තිමත් දෙයක් නෑ.
ප්‍රශ්නය:
මොන වගේ තත්ත්වයක ද දැන් ජාතික ආරක්ෂාව තියෙන්නෙ?
පිළිතුර:
රාජ්‍යයට තර්ජනයක් නෑ, මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ඒක ඒක දේශපාලන දඩයම් වලින් ඒ මහජන ආරක්ෂක ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ සඳහා පුළුල් වැඩසටහනක් කරන්න ඕනේ. අපි පිළිගන්න ඕනේ මේ රටේ අවි ආයුධ විශාල ප්‍රමානයක් අවුරුදු තිහක් තිස්සේ සැරිසරනවා. ජනතා විමුක්ති පෙරමුණ අවි ආයුධ පැහැර ගත්තා ඒවා භාරදුන්නේ නැහැ. එල් ටී ටී ඊ සංවිධානයේ අවි ආයුධ තිබුණා ඒවා භාර දීලා නැහැ බහුතරයක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණයි එල් ටී ටී ඊ යයි මර්දනය කරන්න ගත්ත අවි ආයුධ භාර දීලත් නෑ. මේක ගැන ඊට වඩා විවෘතව හා සංවේදීතව කටයුතු කරන්නැතුව මේ නිකන් දේශපාලන දඩයම් කරමින්, දේශපාලන වාසි ලබාගන්න කරුණු කටයුතු කරමින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ හින්දා මේ දැන් තියෙන මහජන ආරක්ෂක ප්‍රශ්නය ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන් ඔය විදිහට වැඩ කළොත්. දැනට නම් එහෙම ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් අපිට පේන්න නම් නැහැ.
ප්‍රශ්නය:
පාර්ලිමේන්තුවේදී කිව්වා අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබිලා, මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කරලා මදියි කියන එක.?
පිළිතුර:
පොලිස්පතිතුමාත් පිළිගත්තනේ. එහෙම උසාවියේදී හෝ ඝාතනය කිරීමට තොරතුරක් ලැබුණා කියලා. ඒ වගේම මෙවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම පස්සේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පොලිස්පතිවරයෙක් දැනුම් දුන්නනේ 2023 අප්‍රේල් මාසේ මෙහෙමයි ක්‍රියා කරන්න ඕනේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පොරොන්දු වූ ක්‍රියාපටිපාටියට හාත්පසින්ම පටහැනිවනේ ක්‍රියා කරලා තියෙන්නේ. ඒ අනුව මේ පොලිස්පතිතුමත් පොලිස් ලේකම්වරයාත් ඇමතිවරයාත්, ශ්‍රේෂ්ඨාධිකරණයට දීපු පොරොන්දුව කඩ කරලා තියෙනවා.
ප්‍රශ්නය:
දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව. මොනවගේ තැනකද තියෙන්නේ? පිරිහීගෙනද යන්නේ?
පිළිතුර:
ඒක ඉතින් ජනතාව තීරණය කරයි. එක දෙයක් කියන්න ඕනේ. දැන් අද කරන හැමදේකටම විරුද්ධව, ප්‍රකාශයක් අනුර දිසානායක මහත්තයා අතීතයේ කරලා තියෙනවා. කියපු දේවල් නෙමෙයි කරන්නේ.
ප්‍රශ්නය:
ජනතාවට සහනයක් හම්බවෙයිද ඉස්සරහට?
පිළිතුර:
මේ යන විදියට නම් බලාපොරොත්තු වෙන්න බෑ.