රජය මහ කන්නය සඳහා ලබාදී ඇති පොහොර සහනාධාරයට අනුව වී කිලෝවක් සඳහා
නිෂ්පාදන වියදම ලෙස ගොවියාට දී ඇත්තේ රුපියල් පහකට ද අඩු මුදලක් වුවත් තිරිඟු ආනයනයේදී කිලෝවක් සඳහා රුපියල් 20-30ත් අතර බදු සහනයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජාතික ගොවිජන එකමුතුව පවසයි.
එවන් තත්ත්වයක් යටතේ රජයට වී ලබාදෙන ලෙස ගොවියාට තර්ජනය කිරීමට කෘෂි බලධාරීන්ට හෝ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියි.
නාඩු වී කිලෝවක් සඳහා මෙම මහ කන්නයේදී රජය රුපියල් 130ක් ලබාදීමට කටයුතු කළේ නම් ඊට සමගාමීව සහල් කිලෝවක් සඳහා වන නිෂ්පාදන පිරිවැය පමණක් රුපියල් 206.50ක් වන බව පවසන එම එකමුතුව රජය මේ වනවිට නාඩු වී කිලෝවක් සඳහා ලබාදී ඇත්තේ රුපියල් 120ක් වන බැවින් ඊට සාපේක්ෂව වී කිලෝවක නිෂ්පාදන පිරිවැය තවදුරටත් ඉහළ යමින් පවතින බව ද කියයි.
සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝ 1.6ක් වැයවන බවත් එවිට වී සඳහා වන මිල 1.6X130= රුපියල් 195 වන බවත් එයට කම්කරු කුලිය රු. 03ක්, විදුලි පිරිවැය රු.1.50ක්, ඇසුරුම් කුලිය රු. 02ක් සහ ප්‍රවාහන කුලිය ලෙස රු. 05 ක් ද එකතු වීමෙන් සහල් කිලෝවක නිෂ්පාදන වියදම රු.206.50ක් වනු ඇති බවත් පවසන ගොවිජන එකමුතුව මෙම මුදල සුළු හා මධ්‍යපරිමාණ ගොවියාගේ වී කිලෝවක නිෂ්පාදන පිරිවැය පමණක් බවද සඳහන් කරයි.
ඒ අනුව නාඩු සහල් කිලෝවක පාලන මිල වන රුපියල් 230ට ද අඩුවෙන් පාරිභෝගිකයාට සහල් ලබාදීමේ හැකියාව රජයට පවතින බව ගොවිජන එකමුතුව පවසයි.