බෞද්ධ දර්ශනයේ ප්‍රගතිශීලී ගමන්මඟ ශක්තිමත් කිරීම උදෙසා ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ
මඟපෙන්වීම යටතේ 2022 වර්ෂයේ බුද්ධගයාවේදී පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ කර තිබුණේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් ය.
ඒ අනුව මෙම වැඩසටහනේ තෙවන අදියර ශ්‍රීලංකාවේ වැඩසටහන 2025 පෙබරවාරි මස 01 දින ආරම්භ විය.
පුරා දින 15 ක කාලසීමාවක් පැවැත් වූ මෙම වැඩසටහනේ සමාප්ති උළෙල පසුගිය 14 වන දා සවස බුදු දහම ප්‍රවර්ධනය කිරීම හා බෞද්ධ සම්ප්‍රදායයන් අතර එකමුතුව ඇති කිරීමේ අරමුණින් ලංකාවේ ඉදිකෙරුණු ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහනේ සත්කාරත්වය ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනම විසින් දරන ලදී.
පුරා දින 15ක් පැවැති මෙම වැඩසටහන සඳහා ඉන්දීය, ටිබෙට්, තායිලන්ත, ලාඕස, භූතාන සහ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා සහභාගි වී සිටියහ.
මෙහි දී ප්‍රධාන ආරාධිත දේශනය පැවැත් වූ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති ඇලිකේවල සීලානන්ද හිමියන් පැවසූ පරිදි පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු නිරිඳුන්ගේ පෙළපතින් පැවත එන ආචාර්ය දමෙන්ද පෝරගේ යනු ලංකාවේ පමණක් නොව අනෙකුත් රටවලත් කීර්තිනාමයක් උසුලන ප්‍රතාපවත් චරිතයක් බවත් බෞද්ධ සහෝදරත්ව පදනම දැනට වසර ගණනාවක සිට අසරණ ප්‍රජාවන්ට ආහාරා පාන ආදියෙන් සලකන, පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දෙන උතුම් බෞද්ධ ශාසනික මෙහෙවර ගණනාවක් සිදු කරන ලංකාවේ වැදගත් බෞද්ධ ආයතනයක් බවයි.
තවද බෞද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් නොමිලේ මුද්‍රණය කර බෙදාහරින සතිපට්ඨාන සඟරාව ලංකාවේ විහාරස්ථාන, පාසල් හා විශ්වවිද්‍යාලය පුස්තකාල වලට ලබා දී බෞද්ධ ආගමික චින්තනය සමාජගත කිරීමට මහත් වෙහෙස මහන්සියක් බෞද්ධ සහොදරත්ව පදනම විසින් ගන්නා බවද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.
මෙම අවස්ථාව සඳහා බෞද්ධ සහෝදරත්ව පදනමේ ලේඛකාධිකාරී ශර්මිලා මිල් රෝයි ඇතුළු බෞද්ධ සහෝදරත්ව පදනමේ සාමාජික සාමාජිකාවන් ද සහභාගී වූහ.
@බෞද්ධ සහෝදරත්ව පදනම