රජයේ පොහොර සහනාධාරය ගන්නා ගොවීන් තම වී අස්වැන්නෙන් කොටසක්
රජයේ වී ගබඩාවලට දිය යුතු බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
පොහොර, ජලය ගොවීන් ගන්නේ මහජන මුදල්වලින් බවත්, එබැවින් ඔවුන් තම වී අස්වනුවලින් යම් කෝටාවක් රජයට දීම කළයුතු බවත් ඒ සඳහා නව නීති සකස් කරන ලෙස යෝජනා ඉදිරිපත්වී ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.
මෙම පහසුකම් රජයෙන් ගන්නා ගොවීන් ඒ තුළින් තම අස්වනු සරුකර ගෙන වී අස්වනු මහමෝල්කරුවන්ට ලබාදීම සිදු කරන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
වී මිල දී ගැනීම් කටයුතු සඳහා රජයේ සියලු වී ගබඩා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාවට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත දී තිබුණ ද ඊයේ(13) වන විටද වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී ලබාදී නැතැයි වාර්තා වේ.
ගොවි ජනතාව පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ රජය විසින් මෝල් හිමියන් මැදිහත්වී වී අස්වැන්න ලබාගන්නා තෙක් රජයේ වී සඳහා පාලන මිල නියම නොකලේ කුමක් නිසාද යන්නයි.
මහමෝල් හිමියන්ට වී අස්වැන්නට මිලක් නියම කර ඒවා විකුණන තෙක් රජය කල් ගනිමින් සිටි බවද ඔවුනගේ පාර්ශ්වයේ චෝදනාව වී ඇත.