සුළං සහ සූර්ය විදුලි බලය ප්‍රවර්ධනය කළහොත් පෞද්ගලික අංශයේ ගල්අඟුරු සහ ඩීසල් බලාගාරවලින් ලබා ගන්න විදුලිය ප්‍රමාණය අඩුවන බවත්,
වත්මන් ආණ්ඩුව එම විදුලි මාෆියාවට යටවී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.
එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
“පසුගිය ඉරිදා ලංකාව පුරාම විදුලිය බිඳවැටුණ අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළා පානදුර ග්‍රිඩ් උප පොළට වඳුරකු පැනීම නිසා විදුලිය බිඳවැටීම සිදුවුණා කියලා. ඉන්පසුව ඇමැතිවරයා ප්‍රකාශ කරනවා පසුගිය ආණ්ඩුවේ වැරැදි නිසා මුළු රටටම විදුලිය නැතිවුණා කියලා.
පසුගිය ආණ්ඩු කරපු වැරදි කියලා තමයි ජාතික ජනබලවේගය බලය ලබා ගත්තේ. දැන් ජාතික ජනබලවේගය බලය ලබාගෙන මාස 4කට වැඩියි. වංචාව දූෂණය නොමැතිව රට ඉදිරියට ගෙනයන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ක්‍රමයේ වෙනසක් ඇති කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුවේ නොහැකියාව තමයි පෙන්වන්න උත්සහ කරන්නේ.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරනවා සුර්ය පැනලවලින් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය වැඩියි කියලා. විදුලිබල මණ්ඩලයම තමයි අවුරුදු 10ක් තුළ නිවාසවල සූර්ය පැනල ඉදිකරලා මෙගාවොට් 1000 ක විදුලි බලයක් ලබාගන්න කටයුතු කරනවා කියලා ප්‍රකාශ කළේ. මේ වනවිට මෙගාවොට් 1200ක් පමණ සූර්ය පැනලවලින් විදුලිය නිෂ්පාදනය වෙනවා. ආණ්ඩුව මේ සිදු කරන්න යන්නේ සූර්ය පැනලවලට ගෙවන මුදල අඩු කරන්න. ඩොලරය 180 කට තිබියදි සූර්ය බලය සඳහා ගෙව්වේ රුපියල් 22ක මුදලක්. ඩොලරය 350කට තිබියදී රුපියල් 37ක මුදලක් සූර්ය බලය සඳහා ගෙව්වා. ඩොලරය 300 දක්වා අඩු වුණාට පස්සේ සූර්ය බලය සඳහා ගෙව්වේ රුපියල් 27යි. අපට වාර්තා වන ආකාරයට මේ රුපියල් 27 රුපියල් 16ට අඩු කරන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
සූර්ය පැනලවලින් විදුලිය ලබා ගැනීම නිසා ගල්අඟුරු මාෆියාවට සහ ඩීසල් මාෆියාවට තමයි පහර වදින්නේ. මේ පිටුපස සිටින්නේ කවුද කියලා ආණ්ඩුව දැනගත යුතුයි. ආණ්ඩුව මේ මාෆියාවට අවශ්‍ය පරිදි දිගින් දිගටම කටයුතු කරන්න ඉඩ ලබාදෙනවාද? රට තුළ සුර්ය බල ශක්තිය සහ සුළං බල ශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බව සියලු දෙනාම දන්නා කාරණයක්. එවිට ඩීසල් සහ ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය අඩු වෙනවා. මේ මාෆියාවට අවශ්‍ය පරිදි ආණ්ඩුව කටයුතු කරන්නද යන්නේ. මේ මාෆියාවට සම්බන්ධ පිරිස් ආණ්ඩුව සමග ගනුදෙනුවෙද සිටින්නේ. සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයාට අනුව නොරොච්චෝලේ බලාගාර තුනම අක්‍රීය වෙන්න ඉඩ ලබාදීලා තිබෙනවා. ජනතාව මේ ඇත්ත තේරුම් ගත යුතුයි.
විදුලි මාෆියාවට සම්බන්ධ පිරිස ස්මාර්ට් ග්‍රිඩ් සිස්ටම්, බැටරි සිස්ටම්වලට කැමැති නැහැ. සුළං විදුලි බලය සහ සූර්ය විදුලි බලය ප්‍රවර්ධනය කළොත් පෞද්ගලික අංශයේ ගල්අඟුරු සහ ඩීසල් බලාගාරවලින් ලබාගන්න විදුලිය ප්‍රමාණය අඩු වෙනවා. විදුලි මාෆියාවට ආණ්ඩුව යටවෙලා ඉන්නේ.
පෞද්ගලික අංශයේ විදුලි බලාගාරය ලබාදෙන විදුලි ඒකකයක මිල තීරණය කරන්නේ ඒ බලාගාරය හදන්න ගිය වියදම සහ නිෂ්පාදන වියදම එකතු කරලා. මේ ආකාරයට මිල තීරණය කරන්නේ පළමු එකඟතාවයේදී. දෙවන එකඟතාවයේදී විදුලි ඒකකයට දෙන මිල තීරණය කරන්නේ නිෂ්පාදනය වියදම පමණක් සලකා බලලා. නමුත් ඇඹිලිපිටිය බලාගාරය සඳහා වන එකඟතාව හතර වෙනි වතාවටත් දීර්ඝ කරන විට වැඩි මුදලක් විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවලා තිබුණා. මේ බව කොප් කමිටුවේදී ප්‍රශ්න කරන විට උත්තර ලබාදෙන්න නොහැකිව නිලධාරින් අපහසුතාවට පත් වුණා".