හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලය තුළ
මෙරටට පොල්තෙල් ගෙන්වන සමාගම් බදු නොගෙවීම ආරම්භ කර ඇති බවත්, සමාගම් හතරක් රුපියල් බිලියන 5.8ක බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) ප්‍රකාශ කළේය.
අගමැතිවරියගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ මතුකළ ප්‍රශ්නයක් අතරතුර එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
“මෙරටට පොල්තෙල් ගෙන්වීමේදී ඒ සමාගම් බදු නොගෙවීම ආරම්භ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස හිටපු කාලයේදී. පොල්තෙල් ගෙන්වපු එක සමාගමක්, මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ලියලා අහනවා බදු ගෙවන්න ඕනේ ද නැද්ද කියලා.
ඒ අනුව රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපියක් ලියලා තිබෙනවා වැට් බද්ද ගෙවිය යුතුයි කියලා. එහෙම මත විමසීමක් අවශ්‍ය නෑ. දළ වශයෙන් රුපියල් බිලියන 5.8කට වැඩි මුදලක් ගෙවන්න තිබෙනවා.”
අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවේ,
“බෙහෙවින් ස්තුතියි. මේ තොරතුරු ලබා දීම ගැන. මේ ගැන අපි අනිවාර්යයෙන් විමර්ශනයක් කරන්නම්.”
යනුවෙනි.