තම මැතිවරණ ප්‍රකාශයට අනුව යමින් අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු ඊට අදාළ විධායක නියෝග වලට අත්සන් තබා ඇත.
පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙවුණු සති කිහිපයක තුළ ආන්දෝලනාත්මක තීරණ රැසක් ගනු ලැබිනි.
අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් විම, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ඒ අතරින් ප්‍රමුඛ කාරණා වේ.
මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් කරගැනීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.
කෙසේ වුවද පසුගිය කාලය පුරා ලෝකයේ බොහෝ යුධ ගිනි ඇවිලවීම සඳහා සෘජුවත් වක්‍රවත් කටයුතු කරනු ලැබූයේ අමෙරිකාව බැව් බොහෝ දෙනාගේ අදහස වී ඇති අතර එවන් පසුබිමක් යටතේ මානව හිමිකම් කවුන්සිලයේ ඔවුන් සිටගෙන සිටීමම පවා බොහෝ දෙනාගේ සමච්චලයට හේතු කාරක විය.
මීට ප්‍රථමවද ඔහුගේ ප්‍රථම ධුරකාලයේදී එනම් 2018 වසරේ ජුනි මාසයේදීත්, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්කරගැනීමට ට්‍රම්ප් පියවර ගත්තේය.
ඒ එම සංවිධානය මඟින් නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් නැවත එහි නිරීක්ෂකයෙක් ලෙස අමෙරිකාව 2021 වසරේදී එක්වුණේ එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ විධාන යටතේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සහන ඒජන්සිය එනම් අනර්වා සංවිධානයට ආධාර ලබාදීම අත්හිටුවීමට අදාළ විධායක නියෝගයටත් ට්‍රම්ප් පසුගියදා අත්සන් තැබීය.
ගාසා තීරය, බටහිර ඉවුර, ජෝර්දානය, ලෙබනනය, සහ සිරියාවේ ජීවත්වන පලස්තීන සරණාගතයන්ට සහන ලබාදෙන මෙම සංවිධානය පිහිටුවා ඇත්තේ 1950 වසරේදීය.