SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

NPP රජය විහාර දේවාලගම් පනත කඩලා..යැයි

සමන් දේවාලයෙන් විරෝධය!

 

 

රත්නපුර මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේගේ ධූර කාලය අවසන් වූ පසු වර්තමාන වැඩ බලන බස්නායක නිලමේවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදාය කඩකරමින් හා අනීතිකව බව එම දේවාලයේ නිල රාජකාරී මඩුල්ල විරෝධය පාමින් කියා සිටියි.

 

 

1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත මේ වනවිට සංශෝධන කිහිපයකින් සමන්විතව ආගමික ස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

 

යථෝක්ත සිදුවීම සම්බන්ධයෙන් රත්නපුර මහ සමන් දේවාලයේ ඇතුල් කට්ටුව  විසින් පවසන්නේ විහාර හා දේවාලගම් පනතට ඇතුලත් කරුණු දෙකක් වත්මන් බස්නායක නිළමේ ලෙස පත්කිරීමේදී කඩව ඇති බවයි.

 

එනම් පනතට අනුව මෙම තනතුරට පත්වන්නා වයස අවුරුදු 70ට අඩුවූවෙකු විය යුතුය. දෙවැන්න විහාර හා දේවාලගම් පනතට අනුව පත්කරන පුද්ගලයා දේවාලයට අයත් පරවේණී ඉඩම් භුක්ති විඳින්නෙකු නොවිය යුතුය.

 

 

පූර්ව සිද්ධිය සම්බන්ධයෙන් දේවාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින්  පැවසෙන්නේ පනත ප්‍රකාරව ඉදිරිපත් කරන්නේ ඉහත කාරණා වුවද සැබැවින්ම මූලිකම විරෝධය පවතින්නේ පත්කළ බස්නායක නිළමේ අයත්වන පන්ති ස්වභාවය සහ කුල තත්වය බව විශ්ලේෂක මතය වී ඇත.

 

 

ඔවුන් පවසන්නේ වසර පන්සීයකට ආසන්න ව්‍යූහයක් එකවර වෙනස් කිරීමට යෑමෙන් රජය විශාල අවදානමක් ගෙන ඇති බවය.

 

 

බොහෝ දේවාල සහ ආගමික ස්ථාන මෙන්ම රත්නපුර සමන් දේවාලය ද ගොඩනැගී ඇත්තේ කුල ධූරාවලිය සහිත සමාජයක නිර්මාණයක් ලෙසය. වත්මන් NPP රජය නිර්ප්‍රභූ රජයක් ලෙසත්, වාමාංශික විභවයකින් පැවති ජවිපෙ දේශපාලනයට බද්ධව පැන නැගි බලවේගයක් ලෙසත් මෙම කුල ධූරාවලිය සහ ප්‍රභූ තනතුරු විභේදනයට ගියවිට සමන් දේවාලය අර්බූධයට ගොස් එහි 'දේවාලය' නොමැති තත්වයක් පැන නැගිය හැකිය. මන්ද පැවති පිළිවෙත කැඩීම යනු එහි ගොඩනැගීම විනාශ කිරීමකි.

 

 

කෙසේ වුවද සබරගමුව මහ සමන් දේවාලයේ භාරකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇත.

 

එම සාකච්ඡාවට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

 

මේ අතර රත්නපුර මහ සමන් දේවාලයේ ඇතුල් කට්ටුවේ නිල රාජකාරී මඩුල්ල අද (05) දිනයේ සිට රාජකාරියෙන් ඉවත්ව සිටීමට තිරණය කර ඇත.

 

මෙම පත් කිරීමට විරෝධය පල කරමින් සමන් දේවාලය ඉදිරියේ විරෝධතාවක් පැවති අතර ඔවුන් පැවසුවේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු බවයි.