SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගෙන විනාශ වීමෙන් මෙරට ධීවර ප්‍රජාවට මෙන් ම,

පාරසරික පද්ධතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් ඩොලර් බිලියන 10ක වන්දියක් ලබා ගැනීමට හැකියාවක් තිබියදී එය වළක්වන ලද ආකාරය පිළිබඳව තොරතුරු අධිකරණය ඉදිරියේ හෙළිවෙමින් ඇතැයි වාර්තා වේ.

 

 

එම නෞකාව විනාශ වීම පිළිබඳ පැවැත්වෙන නඩු විභාගය ඊයේ (03) යළි කැඳවීය.

 

එම අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ හෙළිකර ඇත්තේ එම නෞකාවේ තොරතුරු ඇතුලත් ඊමේල් පද්ධතිය සැලසුම් සහගතව මකා දමා ඇති බව යි.

 

හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම නෞකාව ගිනි ගැනීම නිසා ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල කඩාකප්පල් කිරීම සඳහා ඩොලර් මිලියන 250ක කප්පමක් (අල්ලසක්) ශ්‍රී ලාංකිකයෙකු හට ලබා දී තිබූ බව ය.

 

ඒ පිළිබඳව තොරතුරු තමා දන්නා බව පැවසුවද එය ඔහු විසින්ද හෙළි දරව් නොකළේය.

 

කෙසේ වුවද ඊයේ පැවති නඩු විභාගයේදී හෙළි වූ කරුණු ඇතුලත් වාර්තාවක්  ලංකාදීප වෙබ් අඩවියේ ද පලකර තිබුණි.

 

එම පුවතේ සඳහන් ආකාරයට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතා මතා මකා දමා ඇතැයි ද එය සිදුකර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක් කල් ගතවන බවත්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ කරුණු දක්වමින් ඊයේ  (03) සඳහන් කර තිබුණි.

 

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ගබඩාව මාස හතරක් තිස්සේ අක්‍රීයව ඇති බවත්,එය ප්‍රතිස්ථාපනය කිරීමට මාස තුනක් කල් ගතවන බව සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා ඒ බව පවසා ඇත.

 

අක්‍රියව ඇති මෙම පරිගණක දත්ත ගබඩාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂයකට අධික මුදලක් වැය වෙන බවට (IMB) අයි.බි.එම්. සමාගම  දැනුම් දී තිබෙන බවත්, පසුගිය සමයේ මැතිවරණ පැවැති බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමට නොහැකි වූ නිසා මාස තුනකට අධික කාලයක් ගතවෙනු ඇති බවටත්  රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත මකා දමා, එම නෞකාවේ කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට හාබර් මාස්ටර්වරයාගේ අවසරය ලබාගැනීමට නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනය කටයුතු කර ඇති බවට සඳහන් කරමින් දේශීය නැව් සමාගමට හා එහි නිලධාරීන් හත් දෙනකුට එරෙහිව සිදු කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී ඔහු පැවසුවේ ය.

 

හිතාමතාම ඊමේල් දත්ත මකා දැමුවේ ද යන්න පිළිබඳ රස පරීක්ෂක වරයාගේ විශේෂඥ වාර්තාව ලබා ගැනීමට තවත් මාස තුනක කාලයක් ලබාගත යුතු බවත්, ඒ අනුව විමර්ශන විභාගය මාස තුනක කාලයකට කල් දමන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී 2021 මැයි 19 වැනි දින ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් වැඩිදුරටත් පවසයි.

 

මෙම විමර්ශනය බරපතල චෝදනාවක් මෙන්ම ජාතියට කරන ලද චෝදනාවක් සනාථ කිරීම පිළිබඳව සිදු කරන විමර්ශනයක් බවත්, දත්ත මකා දැමීම සම්බන්ධයෙන් දේශීය නැව් සමාගම වගකිවයුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

 

 

@රෝෂන් තුෂාර (ලංකාදීප)ගේ පුවත ඇසුරිනි.

නවතම ලිපි