කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ
ජාතික ජන බලවේගයට (NPP) නිල ලිපියක් එවමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට සුබ පතා ඇත.
ලිපිය මගින් දෙමළ කැනේඩියානුවන් වෙනුවෙන් හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇති අතර, මෙම සුවිශේෂී ජනවරම පරිවර්තනීය පාලනයක් සඳහා වූ NPP හි දැක්ම කෙරෙහි ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය පිළිබිඹු කිරීමක් බව පවසයි.
ඔවුන් විසින් NPP ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා ඇති පරිදි විනිවිද පෙනෙන, වගකියන සහ සියල්ලන් ඇතුළත් රජයක් පිහිටුවීමට, NPP හි ප්‍රතිඥාව පැසසුමට ලක් කර ඇති අතර, රජය විසින් ජනතාවට දුන් පොරොන්දුවලට ගරු කරනු ඇතැයි ශුභවාදීව විශ්වාස කරන බවද ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්‍රමය විසුරුවා හැර ප්රජාතන්ත්රවාදයට ප්‍රමුඛත්වය දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සහ දෙමළ ජනතාව ඇතුළු සියලු ජන කොටස්වල අයිතිවාසිකම් සුරැකීමට NPP ඉදිරියේ ඇති ඓතිහාසික අවස්ථාව කැනේඩියානු දෙමළ කොංග්‍රසය සිය ලිපිය මගින් ඉස්මතු කර ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උකහා ගනිමින්, දිගුකාලීන දුක්ගැනවිලි විසඳීමට කඩිනම් පියවර ගන්නා අතරම, සැමට යුක්තිය, ඇතුළත් කිරීම සහ සමානාත්මතාවය සහතික කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇත.
කැනේඩියානු දෙමළ කොංග්‍රසය සිය ලිපියෙන් පහත තීරණාත්මක ක්‍රියාමාර්ග යෝජනා කරයි.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම:
සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වැදගත් පියවරක් ලෙස ඉතිරිව සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස CTC රජයෙන් ඉල්ලා සිටියි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA):
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සම්බන්ධ දිගුකාලීන අසාධාරණයන් අවධාරණය කරන කැනේඩියානු දෙමළ කොංග්‍රසය NPP ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දු වූ පරිදි මෙම පනත අවලංගු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
ඉඩම් හිමිකම් ප්‍රතිෂ්ඨාපනය:
දැනට හමුදාව විසින් අල්ලාගෙන සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් ආපසු ලබා දෙන ලෙසත්, නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් නැවැත්වීමටත්, විශ්වාසය නැවත ගොඩනඟා නීත්‍යානුකූල අයිතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් ඔවුන් සිය ලිපිය හරහා ඉල්ලා සිටියි.
ආගමික අයිතීන් ආරක්ෂා කිරීම:
දෙමළ ප්‍රජාවගේ සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා, දෙමළ ආගමික ස්ථාන ආක්‍රමණය කිරීම වැළැක්වීමට සහ ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නතර කරන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසය රජයෙන් ඉල්ලා සිටියි.
13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ:
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කරන තුරු, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, ප්‍රාදේශීය නියෝජනය සහතික කිරීම සහ ප්‍රාදේශීය පාලනය බලගැන්වීම සඳහා කැනේඩියානු දෙමළ කොංග්‍රසය අවධාරණය කර ඇත.
ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරීම:
උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා පැවැත්ම රටේ සෙසු ප්‍රදේශ සමඟ සමපාත කිරීමේ අවශ්‍යතාවය සහ දේශීය ව්‍යාපාරවලට සහ ගොවීන්ට බාධා කරන, ගොවිතැන් හා සත්කාර වැනි වාණිජ ව්‍යාපාරවලට හමුදා මැදිහත්වීම නැවැත්වීමේ අවශ්‍යතාවය එකී ලිපියෙන් අවධාරණය කර ඇත.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් තම පොරොන්දු ඉටු කිරීමේදී එකී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවංකභාවය පෙන්නුම් කරනවා පමණක් නොව වඩාත් සාධාරණ සහ සියල්ලන් ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා අඩිතාලම දමනු ඇතැයි කැනේඩියානු දෙමළ කොංග්‍රසය සිය විශ්වාසය ප්‍රකාශ කරයි.
ජාජබය වෙත පැවරී ඇති අතිමහත් ජනවරම සමඟින්, සියලු ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසය රජයෙන් ඉල්ලා සිටියි.
කැනේඩියානු දෙමළ කොංග්‍රසය ශ්‍රී ලංකාව තුළ යුක්තිය, ප්රතිසන්ධානය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන මුලපිරීම් සඳහා සහය දැක්වීමට සූදානමින් සිටින බවද දන්වා ඇත.
@Dailymirror