SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද රට පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ නියමිත දිනයේ ඉල් මහ විරු සමරුව පවා

නොසලකා හැර ඇති බව ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය කණ්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පවසයි.

 

 

ඝාතනයට ලක් වූ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ඉල්මහ විරුවෝ ලෙසින් හඳුන්වනු ලබන සියලුම ජවිපෙ සාමාජිකයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකදී ප්‍රධාන දේශනය කළ පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මෙම චෝදනාව කළේය.

 

“නොවැම්බර් 13 වෙනිදා ජාතියේ උන්නතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අපේ නිර්මාතෘවරුන් අපි අනුස්මරණය කරනවා. ඒ තමයි විජේවීර සහෝදරයා ඝාතනය කළ දිනය. නමුත් නොවැම්බර් 13 වැනිදාට දේශපාලන උත්සව පැවැත්වීමට හැකියාවක් නැති නිසා ඒ අයව මතක් කරන්න බැහැ. ඒ මහ මැතිවරණයට පෙර නිහඬ කාලය 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන නිසා.

 

ඒ නිසා අපිට අද (2024 නොවැම්බර් 11) මේ උත්සවය පවත්වන්න සිද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව මේ කාරණය දැන සිටියේ නැද්ද?”

ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි කුමාර් ගුණරත්නම් අසයි.

 

1971 දීත් 1989 දීත් දිවි පිදූ තම පක්ෂයේ මියගිය නිර්මාතෘවරුන් ඉගැන්වූ සමාජවාදී මාවත අද NPP සභාපතිවරයාට සහ ජනතා විමුක්ති පෙරමුණට අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි. එසේම NPP ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දේශපාලන ගනුදෙනුවකට යන බවක් පෙනෙන්නට ඇතැයි ඔහු එහිදී චෝදනා කරයි.

 

පාර්ලිමේන්තුව හරහා සමාජවාදය කරා සංක්‍රමණය කළ නොහැකි බව ඔහු පවසයි.

 

 “ජනාධිපතිකම ගියේ පීඩිත පන්තිය නියෝජනය කරන කෙනෙකුට බව ඇත්ත. එය වඩාත් සාදරයෙන් පිළිගන්නවා. එසේම වත්මන් පාලනයෙන් සිදු විය හැකි මහජන මුදල් කොල්ල කෑ අය සම්බන්ධයෙන් කටයුතු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි යහපත් දේත් අපි සාදරයෙන් පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ අලුත් මුහුණු දැකීම වෙනුවෙන් අපිත් පෙනී සිටිනවා. කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායකයෙන් පිටත විප්ලවයක් හරහා සමාජවාදය දෙසට පූර්ණ සංක්‍රමණයක් ඇති කළ යුතුයි,”

ඔහු අවධාරණය කළේය.

 

“විජේවීර සහෝදරයා ඇතුළු පිරිස ආරම්භ කළ මෙහෙයුම තවම ඉවර නෑ. අපගේ අභියෝගය වන්නේ 2022 දී අප නිරත වූ අරගලය වැනි විප්ලවයක් සඳහා ජනතාව බලමුලු ගැන්වීමයි. ධනවාදයේ පරාජය සහ සමාජවාදයේ ජයග්‍රහණය අපගේ තේමාවයි. අපට මේ ව්‍යායාමය කරගෙන යාමට කාලය එළඹිලා තියෙනවා,”

ඔහු පැවසීය.

 

ඒ සමඟම 1971 සහ 1989 දී විජේවීර, ගමනායක ඇතුළු පිරිසගේ ඝාතන ගැන සොයා බලන ලෙස තම පක්ෂය වත්මන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව ද  ගුණරත්නම් සිහිපත් කළේය.

 

“1971 සහ 1989 දී යටත් වූවන් මරා දැමීමෙන් දිවන්ගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය සිදු කර තිබෙන යුද අපරාධත්, සිවිල් යුද්ධයේදී උතුරේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ පැහැරගැනීම් අපි දැක තිබෙනවා. ඒ අනුව මේ සියල්ල ගැන සොයා බලා වගකිවයුත්තන්ට දඬුවම් දෙන ලෙස අපි වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා".

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පසුගියදා යවා ඇති ලිපියේ පහත කරුණු ද සඳහන් කර ඇත.

 

“ඔබ රටේ ජනාධිපති ලෙස පත් වී ආණ්ඩුවක් ගොඩනඟා ඇති මේ මොහොතේ මේ සඳහා කඩිනමින් මැදිහත්වනු ඇතැයි අපේක්ෂා කරමු. තවද එවැනි පූර්ණ විමර්ශනයක් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අපි සූදානමින් සිටිමු. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය ඇතුළු සිදුවීම් පිළිබඳ අප සතු සාක්ෂි සහ තොරතුරු ලබාදීමට පෙරටුගාමි සමාජවාදී පක්ෂය සූදානමින් සිටින බවද අවධාරණය කළ යුතුය.

 

උතුරේ සිදුවීම්වලට අදාළ යෝජනාවට අදාළව මීට පෙර ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පත්කර වාර්තා සකස් කර ඇත. අතුරුදන් කිරීම් පිළිබඳ පනත් සම්මත කර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවා තිබිණි. අද අවශ්‍ය වන්නේ ඒ අතීත තොරතුරු පදනම් කර ගනිමින් මෙම සිදුවීම් පිළිබඳ සත්‍ය සමාජයට අනාවරණය කිරීම සහ යුක්තිය ඉටුකිරීම විනා කල්මරණ කොමිෂන් සභා නොවේ. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බරපතළ ලෙස බැට කෑමට ලක්ව ඇති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ඔබ ඇතුළු ආණ්ඩුව ඒ සඳහා ඉක්මන් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු”.

 

 

නවතම ලිපි