පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු
අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කරයි.
කෙසේවෙතත් අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
මේ අතර නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් අද දිනයේදී දිවයිනට පැමිණෙනු ඇතැයි ද වාර්තා වේ.
යුරෝපා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත බව සඳහන්ය.
මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇතැයි වාර්තා වූ අවසන් රැලි මෙසේය.
ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ගම්පහ නගරසභා පිටියේදී හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
සමගි ජන බලවේගයේ අවසන් මහා රැලිය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ මංසන්ධියේදී පැවැත්වීමට නියමිත බව සඳහන්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුව තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී නාමල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.