මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යටතේ
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යැයි අගතියට පත් පාර්ශව වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර ඇත.
ලේකම්වරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විමර්ශණ වාර්තාවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති නිසා මෙම මෝසම ගොනු කර ඇත.
නීතිඥ සජිත ගමගේ විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවේ මේ බව දැනුම් දී ඇත.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් එහිදී නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිදුවීමට අදාළව නිකුත් කර ඇති බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට එම ලේඛණ ලැබුණු ආකාරය ගැටළු සහගත බවත් ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් කියමින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සඳහා අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.
මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ නීතිඥවරයා එම ප්‍රහාරයට අදාළ වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ අය මහජන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහුට මේ සම්බන්ධයෙන් නියෝග දිමේ බලයක් නැති බවත් කියමින් විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකියි"
යයි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
“මේ නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් මාධ්‍යවේදියෙක් අදහස් දැක්වූවා. විමර්ශන නිලධාරියා මාරු කරන බව ඔහු මාධ්‍යට කියා දිනකින් එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කලා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටුවල විනිසුරුවරුන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. මෙලෙස ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ. දක්ෂ විනිසුරුවන් මේ වාර්තා සකස් කලේ. මේ වාර්තා ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කරන්න. ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට තිබෙනවා”
යයි කී නීතීඥවරයා අගතියට පත් මිය ගිය වින්දිතයන් වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව ද කීවේය.