නීත්‍යානුකූලව ස්ථාපිත කළ කිසිඳු කොමිසමකින් හෝ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකින්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් ලෙස රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ට චෝදනාවක් එල්ල වී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ හේතුවෙන් ඔවුන් වර්තමානයේ දරන තනතුරුවලින් ඉවත්කිරීමට රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ චෝදනාවට ලක්ව සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනා යටතේ සිදුකිරීම ගැටළු සහගත නොවේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ, අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදියි.
එහිදී පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ගෝඨාභය ආණ්ඩුවේ පළමු දඩයම ශානි අබේසේකර බවත්, එය පරීක්ෂණවලට සිදුකළ බාධාවක් බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළා.
තම රජය කිසිදු පරීක්ෂණයකට හෝ විමර්ශනයකට හෝ බාධාවක් නොකරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.
එමෙන්ම මෙම සිදුවීමට අදාලව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවටද අමාත්‍යවරයා එහිදී සහතික වූවා.
එම විමර්ශන අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කරනවාද? නැත්නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නවාද යන්න? තීරණය කරන බවයි ඔහු කියා සිටියේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්..
"ගම්මන්පිල මහතා මේ වාර්තා උස්සන් යන්න කලින් කවුද මේ කමිටුවේ හිටියේ කියලාවත් හොයලා බැලුවානම් හරි.. මේ ගම්මන්පිල උස්සගෙන යන වාර්තාව නිකුත් කළේ අධිකරණ සේවයට බැදී වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ විෂමාචාර ක්‍රියාවක් නිසා වැඩ තහනමට ලක්ව වසර හයකට පසු නව පත්වීමක් ලෙස ප්‍රාථමික අධිකරණයක විනිසුරුවරියක වූ අයෙක්ගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවකින්..
මේ කමිටුව රනිල් වික්‍රමසිංහ ස්ථාපිත කළේ පසුගිය ජුනි 12 වැනිදා.. ඒ විශ්‍රාමික පොලිස් සාමූහිකය ස්ථාපිත කර දින තුනකට පසුවයි.. රවි සෙනෙවිරත්න තමයි එහි ප්‍රධානියා.. රනිල් වික්‍රමසිංහලා ඔහුව ගෙන්වගෙන විවිධ වරප්‍රසාද දෙන්න නම් ඔවුන් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කර තිබුණා.. නමුත් ඔහු ඒකට එකග නොවුණ නිසා තමයි මේ කමිටුව හදලා ඔහුගෙන් හා ශානි අබේසේකරගෙන් පළිගන්න උත්සාහ කළේ..
පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර මහත්වරුන් අපක්ෂපාතීව පරීක්ෂණ සිදුකළා.. කෙසේ වෙතත් 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ශානි අබේසේකර මහතා එම පරීක්ෂණවලින් ඉවත් කළා.. ගම්මන්පිල ප්‍රකාශයට පත් කළා කියන වාර්තාවේ තවත් විවිධ අයගේ නම් තියෙනවා..
නමුත් ඔහු ප්‍රශ්න කරන්නේ ශානි හා රවී ගැන පමණයි.. ඔහු ඉටු කරන්නේ වෙනත් කණ්ඩායමක වුවමනාවක්.. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මේ පරීක්ෂණවලින් ඉවත් කරන්න.. ඒ වුවමනාවට ආණ්ඩුව යටවන්නේ නැහැ..."