SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර දෙසැම්බර් මාසය වන විට

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

 

 

ඊයේ දිනයේදී දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුර 15ක් බෙදී යන ආකාරයට  අමාත්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් අතුරු කැබිනට් මණ්ඩලයක් අද(24) පත්කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 

 

ඒ අනුව, ජනාධිපතිවරයා සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගන්නා අතර අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වනු ඇත.

 

 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අභිනවයෙන් දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි අමාත්‍යවරුන් ලෙස අමාත්‍ය ධූර කිහිපයක් බැගින් හිමිකර ගැනීමට නියමිතය.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුන ආරච්චි ඊයේ දිවුරුම් දුන්නේය.

 

මාස දෙකකට පසු එනම් දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නාමයෝජනා කැඳවන දිනය නියම කරන බවත් ජාතික ජන බලවේගයේ  ආරංචි මාර්ග සඳහන් කළේය.

 

මෙම දිනයෙන් පසු නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව දින 10 සිට 17 දක්වා කාලයක් ලබා දෙනු ඇත.

 

 

වත්මන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ද ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ඇති අතර එය බොහෝ විට ජනවාරි මාසයේදී සිදුවිය  හැකිය.

 

 

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් ජනාධිපති දිසානායක මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී නොබෝ වේලාවකට පසු සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමුවිය.

 

 

අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගෙන තඹුත්තේගම බලා ගියේ තම වයෝවෘද්ධ මෑණියන් දැක බලා ගැනීමටය.

 

 

ඔහු අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජාජබය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

දෙසැම්බරයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් NPP ජයග්‍රහණය කළහොත් නව අගමැතිවරයා ලෙස පත්කෙරෙන්නේ තම ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩිම සහයෝගයක් ලබන මන්ත්‍රීවරයා  ද  වාර්තා වේ.