නාම යෝජනා කැඳවීම සිකුරාදාට පෙර....
සියලු අපේක්ෂකයන්ට සජබ මාධ්‍ය ප්‍රකාශකගෙන් අභියෝගයක්...!
- ජවිපෙ ණය ගෙවන්න හදන්නේ කැට හොල්ලලා ද....?
- අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත හැකි ජනාධිපති කවුදැයි.., මිනිස්සු දන්නවා...
- හොම්බෙන් ගිය රටේ නැවත අත්හදා බැලීම් කරන්න එපා....
- කොපමණ උත්සාහ ගත්තත් ජනාධිපතිට කරන්න බැරි වූ වැඩ 3 මරික්කාර් කියයි.
- ජනාධිපති ඡන්දෙ නොතියන්න ගේම් ගැහුවා මිස ඡන්දෙට සූදානම් වුණේ නෑ...
- ජවිපෙ ප්‍රතිපත්තිය තවම කටින්වත් කියා නෑ.
ජනාධිපතිවරණ සටනට එන සියලු අපේක්ෂකයන් විවිධ තැන්හි සිට විවිධ කතා නොකියා රටේ ප්රමුඛ ගැටළු සඳහා ලබා දීමට සූදානම් විසඳුම් පිළිබඳ දැන් රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අභියෝග කළේය.
ඒ අද (ජුලි 21 ඉරිදා දින) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ විසින් අනාගත පාලන කාලයේ හඳුන්වා දීමට සැළසුම් කර ඇති විසඳුම් පිළිබඳව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
ඒ අනුව ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා සමුළුවක් මෙරට පවත්වා නව විදේශ ආයෝජන අවස්ථා හඳුන්වා දීමට සැළසුම් කර තිබේ. එමෙන්ම පැවති අපනයන ආර්ථිකයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමටත්, නව්‍ය අපනයන අවස්ථා බිහි කිරීමටත්, ලෝක වෙළෙඳ පොල තුළ වැඩි ඉල්ලුමක් සහිත නවීන භාණ්ඩ හා සේවා අවශ්‍යතාවයන් වෙත අවධානය යොමු කිරීමටත් සමගි ජන බලවේගය විසින් මේ වන විට වඩා දූරදර්ශී සැළසුමක් සකස් කර ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී. ජවිපෙ අපේක්ෂකයාගෙන් මරික්කාර් මන්ත්‍රීවරයා විමසා සිටියේ තමා ණය ගෙවීමට සැළසුම් කර සිටින්නේ කැට හෙල්ලීමෙන්ද...? යනුවෙනි.
මේ වන විට වේදිකා මත උසුළු විසුළු කරන වික්‍රමසිංහ මහතා ණය ගෙවීමට සැළසුම් කර ඇත්තේ බදු වැඩි කිරීමෙන් ද...? බඩු මිල හා බිල් වැඩි කිරීමෙන් ද...? යන්න පැහැදිලිව කිව යුතු බවත් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. මෙරට ආර්ථිකය බංකොලොත් කළ පොහොට්ටු පක්ෂයට පවා එය නගා සිටුවීමට යෝජනා ඉදිරිපත්ව නැත. නමුත් සජබ සිය ආර්ථික සැළසුම මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අවධාරණය කළේය.
ශ්‍රී ලාංකික ජනතාව දැන් සොයන්නේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත හැකි ජනාධිපතිවරයා යි. තමාට, තම දරුවන්ට, තම ජීවිකාවට මෙන්ම තම අනාගතයට ද කිනම් ඉරණමක් අත් වේ දැයි ජනතාව සළකා බලමින් සිටියි. එපමණක් නොව රටේ ආර්ථිකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට ඇතුළු සියලු ක්ෂේත්‍ර වෙත නව ජනාධිපතිවරයා දක්වන අවධානය දෙස ජනතාව ඉතා සැළකිලිමත් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මෙම මාධ්‍ය හමුවේදී සජබ ජනාධිපතිවරයාගේ රජයේ සැළසුම සංක්ෂිප්තව පැහැදිලි කළ අතර නුදුරේදීම ඒ පිළිබඳ අංගසම්පූරණ තොරතුරු ජනගත කිරීමට නියමිත බවද සඳහන් කළේය. වර්තමානයේ තමා අත්විඳින බඩගින්න නිවා දැමිය හැකි, තම දරුවාගේ අධ්‍යාපනයේ නිසි වටනාකම හඳුනාගත හැකි, බදු බර හා බඩු මිල පාලනය කළ හැකි ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා ජනතාව සූදානමින් සිටියි. තමා ප්රමුඛ සමගි ජන බලවේගයේ අපේක්ෂාව ඩොලර් ඒකක වලින් රාජ්‍ය ආදායම උපයා ගත හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීම බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම සමාජ වෙළෙඳ පොල ආර්ථිකය තුළ නව ආදායම් ඉපැයයීම, පවත්නා අදායම් ඉහළ නැංවීම, වංචාව දූෂණය නාස්තිය නවතා දැමීම මෙන්ම බදු හා බඩු මිල අඩු කිරීම පිළිබඳ සජබ කෙරෙහි ජනතාව විශ්වාසය තබා ඇත.
ජනාධිපතිවරයා සමග එකතුවී සිටින මෙරට ආර්ථිකය බිඳ දැමූ කණ්ඩායමට සහ අනුර කුමාර ජාජබ නායකයා සමග සිටින කිසිදු සමාජ ආර්ථික සංස්කෘතික හරයක් නොමැති කයිවාරුකරුවන්ට රට වෙනුවෙන් කළ හැකි දේ තීරණය කිරීම ජනතාවට භාර බව කී මන්ත්‍රීවරයා එක් වරක් "හොම්බෙන් ගිය" රටේ, නැවත අත්හදා බැලීමේදී ප්‍රවේශම්.වන ලෙසද උපදෙස් දුන්නේය. අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විදේශයන්ට ගෙන්වා සමාජ මාධ්‍යයේ සංදර්ශන පෙන්වනුයේ එදා ගෝඨාභය ජනාධිපතිතුමන් දිනවීමට සැළසුම් සැකැසූ අයම බවයි මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ.
වසර දෙකක් ජනාධිපතිධුරය හෙබවූවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් කර ගැනීමට නොහැකි වූ කරුණු 3ක් පිළිබඳවද සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මෙහිදී හෙළි කළේය.
ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ කළද සජබ ශක්තිය කඩා දැමීමටත්, වැටුණු එජාපයට පණ දීමටත්, පොහොට්ටුව සමග දුර යාමටත් ඔහු අසමත් වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. පලාත් පාලන මැතිවරණය, පලාත් සභා මැතිවරණය ආදියට බිය වූ ආණ්ඩුව අවසානයේ ජනාධිපතිවරණයෙන් පැන යාමට විවිධ වු උපායයන් ගත් නමුත් ඡන්දයට කිසිදු සූදානමක් නොවු බවත් මැතිවරණ මෙහෙයුමක් සිදු නොකර ජනාධිපතිවරණ සටනට පිවිසීම ඉතා අනුවණ ක්‍රියාවක් බව ඔවුහු ඉතා හොඳින් දන්නා බවත් ඔහු කීවේය. අවම වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන සංවිධාන කටයුතු, ඡන්ද පොල නිලධාරීන් සම්බන්ධීකරණය, දිස්ත්‍රික් හෝ ආසන මට්ටමේ මෙහෙයුම් කිසිවකින් තොරව ජනාධිපතිවරණයක් කෙසේ ජය ගන්නේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව ආවරණය කළ මාධ්‍යවේදීන් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ජවිපෙ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවයි.
මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය වර්තමාන ලෝකයට නොගැලපෙන්නක් බවයි. ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටකට විදේශ ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය වුවත් ජවිපෙ දර්ශනය තුළ වර්තමාන, අනාගත හා දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් ක්‍රියාවලියක් අන්තර්ගත නොවේ. එවන් දර්ශනයක් කියුබාව, උතුරු කොරියාව වැනි රටවලට ගැලපෙන නමුත් වර්තමාන දියුණු වාණිජ ලෝකය හා තරගකාරී නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක් වුවත් ශ්‍රී ලංකාව ගණුදෙනු කළ යුත්තේ වාණිජ ලෝකය සමග වන හෙයින් ඊට මුහුණ දීමට සමත් ප්‍රතිපත්තියක් ඔවුන් සතු නොවන බව මෙහිදී සඳහන් කෙරිණ. තත්කාලීන ලෝකයට ගැලපෙන ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් හෝ ඔවුන් සතුව නොමැති බැවින් ඔවුන්ගේ ව්‍යාකූල විදේශ ප්‍රතිපත්තිය මෙරට ගැටළුවට විසඳුමක් නොවේ. හිටපු ජනපති ගෝඨාභය මහතා තම ආර්ථික ප්‍රතිපත්තිය කටින් හෝ කියූවද ජවිපෙට එවන් හෝ ප්‍රතිපත්තියක් ඇති බවට තහවුරුවක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසූවේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් බිහිවන දැවැන්තම සන්ධානය නුදුරේදීම බිහි කරන බවත්, තම පක්ෂය දැන් තීරණාත්මක සටන අරඹා ඇති බවත් ය. පසුගිය ගම්පහ සහ මතුගම මහජන රැළි මෙන්ම එළැඹෙන සතියේ රත්නපුර දැවැන්ත මහජන රැළිය පිළිබඳවද ඔහු අදහස් දැක්වීය.
@පබසර රෝහණ
මාධ්‍ය ලේකම්